රට මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් ජනතාවට නිසි අවබෝධයක් තිබිය යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රට මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් ජනතාවට නිසි අවබෝධයක් තිබිය යුතුයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ වන විට අප රට බරපතල අභියෝග, බලපෑම් රැසකට රටක් ලෙස පුරවැසියන් ලෙස මුහුණ දෙමින් තිබෙන බවත් අප රටේ ලක්ෂ 220ක් වූ ජනතාව මේ සිදුවන දේ පිළිබඳ සත්‍යවාදීව යථාර්ථවාදීව අපට ඇති අභියෝග සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් මනා අවබෝධයක් ලබා ගන්නවා සේම ඒ සම්බන්ධයෙන් අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම අතිශයින්ම වැදගත් බවත් යම් යම් කරුණු සම්බන්ධයෙන් අනාවබෝධයෙන් කටයුතු කිරීම නිසා බොහෝ දෙනා මුලා වී ඇති බවත් මුසාවට ගොදුරු වී ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කර නොගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද රත්නපුර දිස්ත්‍රික්කයේ, වැලිගපොල, කොට්ටිඹුල්වල රජමහා විහාරයේ ඓතිහාසික කොට්ටිඹුල්වල රාජමහා විහාරීය ශාස්ත්‍රීය ග්‍රන්ථය දොරට වැඩීම සහ මකර තොරණ සහිත වාහල්කඩ විවෘත කිරීමේ අවස්ථාව වෙනුවෙන් පැවැති උත්සව අවස්ථාව අමතමිනි.*

රටක් ලෙස ආර්ථික සමාජීය සෑම ක්ෂේත්‍රයකම අභියෝග රැසක් ඇති බවත් මේ තත්ත්වය කළමනාකරණය කර ගත්තේ නැත්නම් අවසානයට දුකට පත් වන්නේ හඩක් නොමැතිව දුක් කම්කටොලු රැසක් මැද ජීවත් වන රටේ නිහඩ බහුතරය බවත් රටේ ආහාර හා ආහාර නොව උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ යද්දි විදේශ සංචිත අඩුවෙමින් පවතින බවත් ආනයන භාණ්ඩවල මිල ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බවත් විදුලි බිල වැඩි වී සංචාරක ක්ෂේත්‍රය පහළ වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*මැදපෙරදිග යුද්ධය වැඩි වුණොත් අපට ලැබෙන ප්‍රේෂණ පවා අඩු වෙනවා*

විදේශ රටවල සේවය කරන අපේ ජනතාව නිසා විදේශ ප්‍රේෂණ ඉහළ ගොස් ඇති මුත් මැදපෙරදිග කලාපයේ යුද්ධය වැඩි වුවහොත් මේ ප්‍රේෂණ පවා අඩුවිය හැකි බවත් අපනයන අතින් අප රට සිටින්නේ පහළ තලයක බවත් ප්‍රමාණවත් ලෙස සෘජු විදේශ ආයෝජන පවා නොලැබෙන බවත් මේ ගැන ජනතාව අවබෝධයෙන් සිටිය යුතු බවත් තේ වගාව ගොවිතැන් කරන ජනතාවට පවා හරියට පොහොර නොලැබෙන අතර ලැබෙන පොහොර පවා ගුණාත්මකභාවයෙන් අඩු බවත් ඊට අමතරව පොහොර මිල වෙනස් වීම සිදුවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

*ජනතාව අවබෝධයෙන් සිටියහොත් දේශපාලනඥයන්ට රවට්ටන්න බැහැ*

ලෝකයේ සිදුවන විවිධ සිදුවීම් හොඳින් අවබෝධ කර ගෙන ඒවායේ බලපෑම් සම්බන්ධයෙන් හොඳ අධ්‍යයනයක් ලැබීම අප රටේ පුරවැසියන් සියලු දෙනාගේ යුතුකම බවත් ආනයන වටිනාකමින් මාස 3ක විදේශ සංචිත නොතිබුණහොත් රට අමාරුවේ වැටෙන බවත් දැනට ඇති සංචිත ඩොලර් බිලියන 7ක් වුවත් ඉන් භාවිත කල හැක්කේ ඩොලර් බිලියන 5.8ක් බවත් මසකට ඩොලර් බිලියන 2ක ආනයන වියදමක් ඇති අප රටේ මාස 3කට ඩොලර් බිලියන 6ක් අවශ්‍ය බවත් මේ ගැන පුරවැසියන් අවබෝධයෙන් සිටිය යුතු බවත් මේ ගැන ජනතාව අවබෝධයෙන් සිටින විට රජයට හෝ විපක්ෂයට ජනතාව ඇන්දවීම රැවටීම අඩුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*තෙල් මිල වැඩි වුණොත් මේ ගැටලුකාරි තත්ත්වය තවත් වර්ධනය වෙනවා*

ඉදිරියේ දී තෙල් මිල ඉහළ ගියොත් රටක් ලෙස අප බරපතල ගැටලු රැසකට මුහුණ දෙන බවත් බංකොලොත් සමයේ 92 පෙට්‍රල් මිල රු. 470ක් වන විට දැන් ඒ මිල රු. 410ක් බවත් ඉදිරියේ දී නැවත ඉන්ධන මිල ඉහළ ගියොත් වෙන්න යන දේ ගැන අවබෝධයක් ලබා ගත හැකි බවත් මේ වන විට රටේ දුප්පත්කම 30-40%ක් වි ඇති බවත් දුප්පත්කම වැඩිවෙන්න වැඩි වෙන්න ජනතාවගේ පීඩනය අසහනය වැඩි වී නිෂ්පාදන ධාරිතාව පළුදු වී රටක් ලෙස ප්‍රගතිශීලී දියුණු සංවර්ධිත ගමනක් යාමේ ඉඩකඩ අහිමි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*අපි හැමෝම එකට එකතු වෙලා රට වෙනුවෙන් වැඩ කරමු*

දූදරුවන්ට අවශ්‍ය පෝෂණ සෞඛ්‍ය අධ්‍යාපනය උසස් ජිවන මට්ටමක් ලබා දීම පවා සම්පූර්ණයෙන්ම මගහැරෙන බවත් මෙවැනි අභියෝග සම්බන්ධයෙන් ජනතාව අවබෝධයෙන් සිටිය යුතු බවත් පෞඩ ඉතිහාසයක් ඇති අප රටේ ලක්ෂ 220ක් ජනතාවගේ උනන්දුව කැපවීම අධිෂ්ඨානය එකට මුසු කර ගෙන රටක් ලෙස අමාරු වුවත් ඉදිරියට යා යුතු බවත් ඒ සඳහා ඇති තත් නිවැරදි ආකාරයෙන් අවබෝධ කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

NEWS https://youtu.be/nsVpXp3mIBU?si=a5fiLmk9R9IuUX6T

Search