අතීතය පසෙක දමා රට ගොඩනැගීමට එකතු වෙන්නැයි සැමට අත දිගු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
අද (03) පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය ආරම්භයේ, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
"මම භාරගත්තේ විපත්තියට ඇද වැටුණු රටක්. දරුණු අර්බුදය එක පැත්තකින්. දැවැන්ත ජනතා විරෝධය තවත් පැත්තකින්. නමුත් රට වෙනුවෙන් මේ අසීරු අභියෝගය භාරගැනීමට මා තීරණය කළා. අඳුරට සාපකරමින් ඉන්නවා ට වඩා එක පහනක් හෝ දැල්වීම මා රට වෙනුවෙන් කළ යුතු යුතුකමක් ලෙස මා සැලකූ නිසයි. අද අප මුහුණ දෙන්නේ නූතන ඉතිහාසයේ කිසි දිනක අපේ රට මුහුණ නොදුන් ආකාරයේ අතිශය බරපතළ ප්‍රශ්නයකට. අපි දැවැන්ත අනතුරකට ගොදුරු වෙලා. එ් අනතුරින් රට බේරාගත හැක්කේ සියලුදෙනාම එකට එකතු වී මුහුණ දුන්නොත් විතරයි. මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු වගේම සමස්ත ජනතාවත් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දායක වීම ඉතා වැදගත්.
රට ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුදෙනාටම එකට එකතුවී කටයුතු කිරීම මේ අවස්ථාවේ රටේ බහුතර ජනතාවගේ බලාපොරොත්තුවයි. එකට එකතු වුණොත් අපට ශ්‍රී ලාංකීය ජාතිය ඉහළට ඔසවා තබන්න හැකිවෙනවා. බෙදුනොත් පරිහානියට හා අසරණභාවයට පත්වන්නේ පාර්ලිමේන්තු නියෝජතයින් පමණක් නොව මුළු මහත් ජාතියමයි. ඒ නිසා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම උදෙසා එක්වෙන ලෙස මම යළිත් පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු පාර්ශවයෙන් ඉල්ලා සිටිනවා. මම ඔබ සැමට මිත්‍රත්වයේ හස්තය ඉතා ගෞරවයෙන් දිගු කරනවා. අතීතය පසකලා රට වෙනුවෙන් එකට එක්වන්න කියා විශ්වාසයෙන් යුතුව ආරාධනා කරනවා. සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳව දේශපාලන පක්ෂ සමග සාකච්ඡා මම දැන් ආරම්භ කර තිබෙනවා. මගේ වැඩපිළිවෙල විමසා බලා ඉන් පසුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට යම් යම් පාර්ශවයන් එකඟත්වය පළකරන බව පළ කර තිබුණා.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් යනු එක් පක්ෂය තනි මතයට වැඩ කරන ආණ්ඩුවක් නොව. එය පොදු ප්‍රතිපත්ති රාමුවක් මත සියලුදෙනාගේ අදහස් අනුව ක්‍රියාත්මක වන ආණ්ඩුවක්. අප හැමදෙනාගේම අදහස් අනුව ක්‍රියාත්මක වන ආණ්ඩුවක්. රට වෙනුවෙන් අප සියලුදෙනාම එකට එකතු වී ඉදිරියට ගෙන යන ආණ්ඩුවක්. කඩිනමින් මේ දේශපාලන ආණ්ඩුවක් කඩිනමින් මේ දේශපාලන අර්බුදය විසඳාගෙන ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක වටිනාකම මම මේ සභාවට යළි යළි අවධාරණය කරන්න කැමතියි."