ජනපතිට දෝෂාභියෝගයක් ගේන්න අදානි සමාගමේ සිද්ධිය ප්‍රමාණවත් (VIDEO)

මන්නාරම සුළං විදුලිබල ව්‍යාපෘතිය අදානි සමාගමට ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයාට බලපෑම්

කිරීමේ කාරණය මත ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ඒමේ හැකියාව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසීය.

ඊයේ (14දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

"අද වන විට විදුලිබල මණ්ඩලයේ සභාපති කළ ප්‍රකාශය පිළිබඳ ඉන්දියාවේ විශාල දේශපාලන කැළඹීමක් ඇති කරලා තිබෙනවා. ඉන්දියාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි මහතාත් ප්‍රකාශ කරලා තිබෙනවා මෝදි අගමැතිතුමා තමන්ගේ රටේ ගජමිතුරු සංග්‍රහය කරන්නේ නැතිව අද වන විට අනෙකුත් රටවල්වලට ගිහින් තමන්ගේ ගජමිතුරන්ට අවශ්‍ය දේවල් කරගන්න බලපෑම් කරනවා කියන එක. ඒ ප්‍රකාශය මත තමයි අදානි සමාගම තමන්ගේ කනගාටුව ප්‍රකාශ කරලා තිබෙන්නේ. මෙතන අදානි සමාගම කනගාටු වුණාද, මෝදි මහත්මයාගේ හිත රිදුනාද කියලා නෙවෙයි ප්‍රශ්නය තිබෙන්නේ. අපිට වැදගත් වෙන්නේ අපේ රටේ ජනාධිපතිතුමා මේ විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමාට මේ සඳහා කළ බලපෑම තමයි. අපිට වැදගත් වෙන්නේ. ඒ හරහා එතුමාට ජනවරම ලබාදුන් මෙරට ජනතාවට ද්‍රෝහියෙක් බවට ජනාධිපතිතුමා අද පත්වෙලා තිබෙනවා.

ඒ විතරක් නෙවෙයි ඔහු මෙරට ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව, ආර්ථික නිදහස යන සියලු දේ අමු අමුවේ අදානි සමාගම හමුවේ උල්ලංඝනය කරලා තිබෙනවා. මම හිතනවා මේක ඉතාම බරපතළ ප්‍රකාශයක්. මෙම කාරණය මත ජනාධිපතිතුමාට දෝශාභියෝගයක් ගේන්න මේ කරුණ ප්‍රමාණවත් කියලා මම විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි. පාර්ලිමේන්තුවේ විදුලිබල පනත වෙනස් කරන්න ඡන්දය ලබාදුන් සෑම මන්ත්‍රීවරයාම තමන්ගේ හෘදසාක්ෂියට එකඟව ඇත්ත කියන්න ඕන. තමුන්නාන්සෙලාට ජනාධිපතිතුමා බලපෑම් කළා නේද මේ පනත දිනවන්න ඡන්දය දෙන්න කියලා”

Search