හාල් නෑ කියන අයට බන්දුලගෙන් බැණුම් (VIDEO)

වෙළෙඳපොල තුළ කෘතිම හිඟයක් මවා සහල් මිළ වැඩි කිරීමට උත්සහ දරන බව පෙනෙන්නට ඇතැයි වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

 

දින කිහිපයක සිට, සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වල හිඟයක් පවතින බවට පැතිර යන ප්‍රකාශයන්ගේ සත්‍ය අසත්‍යතාවය විමසා බැලීමට හා භාණ්ඩ බෙදාහැරීමේ ක්‍රමවේද පිළිබඳව සොයා බැලීම අරමුණු කරගනිමින්, ඉකුත් දා පිටකොටුව තොග වෙළෙඳ හුවමාරුවේ නිරීක්ෂණ කටයුතු සඳහා එක් වෙමින් අමත්‍යවරයා මේ බව පැවසීය.

"වෙළෙඳපොල තුළ කෘතිම හිඟයක් මවලා සහල් මිළ රු.5/=කින් වැඩි කිරීමට උත්සහ දරන බව පේනවා. නමුත් අද ඔබට පෙනෙනවා ඇති සහල් තොග මෙම පිටකොටුව තොග වෙළෙඳපොල තුළ පවතින බව. ලෝකයේම අස්ථාවර තත්වය තුළ අපේ රට මුහුණ දී ඇති තත්වයේ ඇති අනිසි බලපෑමෙන් ජනතාව අපහසුතාවයට ලක් වීමට ඉඩ නොතබමින් කටයුතු කළ යුතු අවස්ථාවක, ජනතාවගේ පීඩනයෙන් අයුතු ප්‍රයොජන ගැනීමට මෙවැනි පාර්ශ්ව කටයුතු කරනවා. ඕනෑම අයෙකුට මෙම ස්ථානයට පැමිණ සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගත හැකියි. කෙසේ නමුත් ලංකා සතොස හරහා තවදුරටත් අපි ජනතාවට සහන ලබා දෙනවා. වෙළෙඳපොලේ කිසිදු හිඟයක් ඇති වීමට ඉඩ නොතබමින් වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ මුදා ගැනීමට අවශ්‍ය ඩොලර් අද දින මුදා හැරීමට රජය විසින් කටයුතු සලසනු ලැබුවා. කුමක් සිදු වුවත් අපි ජනතාවගේ ස්වෛරීත්වයට, නිදහසට මෙන්ම රැකියා සුරක්ෂිතතාවයට බලපෑම් කරන අන්දමේ තීරණ ගනිමින් ජාත්‍යන්තරයට යන්න බලාපොරොත්තුවක් නැහැ. කුමන හෝ ක්‍රමවේදයකින් අපි ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරන බව අවධාරණය කළ යුතුයි."

Search