වසංගතය දේශපාලන අවියක් කරගත් නින්දිත ක්‍රියාදාමයක් ගැන සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක හෙළි කර සිටිනවා.
"මේ වන විට අප රටේ පාලන බලය දරමින් රට දිගින් දිගටම ආර්ථික, දේශපාලන හා සාමාජයීය අගාධයේ පතුල කරා ඇද දමමින් සිටින රාජපක්ෂ පවුල් කල්ලිය මේ විනාශ කරමින් සිටින්නේ එදිනෙදා ජන ජීවිතයේ භෞතික යහ පැවැත්ම පමණක් නොවේ. ප්රජාතන්ත්රවාදී රටක් ලෙස ශ්රී ලාංකික පුරවැසියා දශක ගණනාවක් තිස්සේ විවිධ බාධාවන් හා සීමාකම් මධ්යයේ වුව ගෞරවනීය ජීවිතයක් වෙනුවෙන් පවත්වාගෙන ගිය අදහස් ප්රකාශ කිරීමේ අයිතිය, භාෂණයේ නිදහස, තොරතුරු දැනගනීමේ අයිතිය සහ මේ සියල්ල තහවුරු කිරීම වෙනුවෙන් තිබිය යුතු ජනමාධ්ය නිදහසද මේ ආණ්ඩුව විසින් වල පල්ලට යවමින් සිටී.
ආණ්ඩුවේ අකටයුතුකම්වලට එරෙහිව ප්රජාතන්ත්රවාදී ලෙස උද්ඝෝෂණයකට දායක වූ විශ්වවිද්යාල ශිෂ්ය නායකයන් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්රියාකාරිකයන් කිහිප දෙනෙක්ම දින 105 ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ ඇප නොදී අත් අඩංගුාව් රඳවාගෙන සිට නිදහස් කරනු ලැබුවේ පසුගිය සඳුදාය. එසේම ඔවුන්ව නිදහස් කරන ලෙස උද්ඝෝෂණය කළ පිරිසකට එරෙහිව දැන් උසාවියට අපහාස කිරීම පිළිබඳව චෝදනා එල්ල කරන්නට සැරසෙන බවක්ද අසන්නට ලැබිණි. මීට මාස කිහිපයකට පෙර වෘත්තීය සමිති නායකයන් හිතූමතේ අත්අඩංගුවට ගත්තේ සහ ඔවුන්ව ව්යාජ නිරෝධායනයකට යොමු කළේ කෝවිඩ් මර්දනයට යොදාගන්නා නීති රෙගුලාසි අවභාවිතා කරමිනි. ඒ සියල්ලට පසුව රට සාමාන්ය තත්ත්වයට පත්ව ඇතැයි පවසමින් රට විවෘත කිරීමට මීට සති කිහිපයකට පෙර තීරණය කර තිබියදීම ආණ්ඩුවේ අඥාන තීරණයන්ට එරෙහිව මහජන විරෝධයන් මතුවන්නට පටන් ගැනීමත් සමගම නැවත වරක් නිරෝධායනයට මුවා වී කරන මර්දනය ආරම්භ කර තිබේ.
මේ අතර ආණ්ඩුවේ දූෂණ වංචා අකටයුතුකම් හෙළි දරව් කරන මාධ්ය වේදීන්ට සහ ඔවුන් සේවය කරන මාධ්ය ආයතනවලට සහ වෙබ් අඩවිවලට සෘජු මර්දනය මුදා හරිමින් තිබේ. ලංකා ඊ නිවිස් වෙබ් අඩිවියට සම්බන්ධ නිදහස් ලේඛකයකු ලෙස කටයුතු කළ කීර්ති රත්නායක මාධ්යවේදියා මේ වන විට ඇප නොදී අත් අඩංගුවේ රඳවාගෙනන සිටී. යුගදනවි බලාගාරයට අදාලව ආණ්ඩුව අත්සන්කර තිබෙන ගිවිසුමේ පිටපතක් තොරතුරු දැනගැනීමේ නීතිය යටතේ අප සංවිධානය විසින් ඉල්ලා සිටි කල බැසිල් රාජපක්ෂ අමාත්යවරයාගේ යටතේ පවතන මුදල් අමාත්යංශය එය ලබාදීම එක එල්ලේම ප්රතික්ෂේප කළේ තොරතුරු දැනගැනීමේ අයිතිය අමු අමුවේ උල්ලංඝනය කරමිනි. මේ සමස්ත මර්දන ක්රියාවලිය අපට සිහිගන්වන්නේ පුවත් පත් කතුවර ලසන්ත වික්රමතුංග මරා දැමූ, ප්රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කළ, පෝද්දල ජයන්තලාගේ අතපය කැඩූ, ජනමාධ්ය ආයතන ගිනි තැබූ, අවිහිංසාවාදී ජනතා උද්ඝෝෂණවලට වෙඩි තැබූ, සුදුවෑන් යොදා මාධ්යවේදීන් පැහැරගත් 2005- 2014 රාජපක්ෂ පාලන සමයයි. එසමයෙහි සිදු වූ එම කුප්රකට රාජ්ය මර්දන ක්රියාවලියෙහි ප්රධානතම මෙහෙයුම්කරු වූයේ එවකට ආරක්ෂාක ලේකම් ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපතිවරයා බව අප අමතක කළ යුතු නැත.
ජනතාව විසින් 2015 දී යහපාලනය යැයි හඳුන්වනු ලැබූ ආණ්ඩුව බලයට පත් කිරීමට හේතු වූ කරුණු අතරින් ප්රධානතම එකක් වූයේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමත් එසේම එතෙක් සිදුව තිබූ බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම්වලට හා මාධ්ය මර්දනයන්ට වගකිව යුත්තන්ට එරෙහිව යුක්තිය ඉටු කිරීමත්ය. එහෙත් ඒ ජනතා බලාපොරොත්තු එයාකාරයෙන්ම ඉටු නොවූ බව අපි දනිමු. විශේෂයෙන්ම රාජපක්ෂ ආණ්ඩුවෙන් සිදු වූ අපරාධ සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු කිරීම සාහසික ලෙස අමතක කර දමන ලදී. අගතියට පත් මාධ්යවේදීන්ට වන්දියක් දීම වැනි ක්රියාමාර්ගයකින් යුක්තිය ඉටු කළේවත් ඔවුන්ට යළි මව්බිමට පැමිණීමට අවශ්ය පරිසරය සැකසුවේවත් නැත. එපමණක් නොව ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ශ්රී ලංකාව තුළ තහනම් කිරීම වැනි සමහර කිසිසේත් පිළිගත නොහැකි ක්රියාමාර්ගයන්ද ගනු ලැබිණ. ඒවා සම්බන්ධයෙන් අපගේ කිසිදු පෞද්ගලික සම්බන්ධයක් නැතත් ඒ ආණ්ඩුවේ පාර්ශ්වකරුවකුව සිටි බැවින් ඒ පිළිබඳව අපගේ කණගාටුව ප්රකාශ කිරීමට කැමැත්තෙමු.
පොහොට්ටු ආණ්ඩුව ඉතා වේගයෙන් මහජන අප්රසාදය ළඟා කරගනිමින් සිටී. මේ පසුබිම හමුවේ අප ඉතා පැහැදිලිව ප්රකාශ කරන්නේ ඉදිරීයේදී රජයක් පිහිටුවීමට බලාපොරොත්තු වන ඕනෑම කණ්ඩායමක් මහජනයාගේ අදහස් ප්රකාශකිරීමේ අයිතිය ආරක්ෂා කරන විස්තරාත්මක වැඩ පිළිවෙලක් ප්රසිද්ධියේ ප්රකාශ කළ යුතු අතර දැනට වින්දිතයන් වී සිටින මාධ්යකරුවන් ඇතුලු සමාජ ක්රියාකාරිකයන්ට යුක්තිය ඉටු කරනා බවට පැහැදිලි ප්රතිඥාවක් දිය යුතු බවය. යහපාලන ආණ්ඩුවේ සුජාතභාවය ගරා වැටීම ආරම්භ වූයේම අපව බලයට පත්කළ ජනතාව තුළ දැල්වී තිබූ යහපත් ආණ්ඩුකරණයක් හෙවත් යහපාලනයක් පිළිබඳ ගැඹුරු සහ ගෞරවනීය අපේක්ෂාවන් අපේ ආණ්ඩුව විසින්ම සම්පූර්ණයෙන්ම පාහේ අමතක කරන ලද බැවින්ය යන්න අප කිසිසේත්ම අමතක කළ යුතු නැත. එනම් මාධ්ය නිදහස හා ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් ඒ වනවිට රාජපක්ෂ පාලනය යටතේ රට වැටී සිටි මහා අන්ධකාරයෙන් මේ රට මුදා ගැනීමට ඒ රජය ක්රියා කළ නමුත් ඒ ක්රියාමාර්ග කිසිසේත්ම මහජනයාගේ උසස් අපේක්ෂාවන්ගේ මට්ටම හා සැසඳුනේ නැත. ඒ අනුව මේ රජය විසින් යළිත් වරක් පැරණි රාජපක්ෂ පාලනයේ අඳුරු මාවතේම අපේ සමාජය කැඳවාගෙන යාමට උත්සාහ දරන මේ මොහොතේදී ප්රජාතන්ත්රවාදය හා මාධ්ය නිදහස පිළිබඳව යුගකාරක පරිවර්තනයක් කිරීමට සමත් ප්රතිපත්තිමය වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමේ වගකීම සියලු විපක්ෂ බලවේග සතුය. මානව නිදහස සම්බන්ධයෙන් වසර පහෙන් පහට ඉදිරියටත්, පසුපසටත් යන මේ එකතැන කැරකෙන ක්රමය වෙනුවට දීර්ඝ කාලයකට මේ රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කර ගත හැක්කේ එවිටය.
ඒ නිසා එක අතකින් ආණ්ඩුවේ මර්දනයට හා අයුක්තිසහගත හැසිරීමට විරුද්ධව නිර්භයව සටන් කරන අතරම අනෙක් අතට මේ රටේ අදහස් ප්රකාශ කිරීමේ අයිතිය තහවුරු කෙරෙන දීර්ඝකාලීන සහ විස්තරාත්මක වැඩපිළිවෙලක් ඇති කිරීම සඳහා මුල පිරීමද අවශ්යය. විශේෂයෙන්ම එදා අගතියට පත් වූ සහ අද මර්දනයට ලක්වන සියලු වින්දිත මාධ්යවේදීන් සම්බන්ධයෙන් සාධාරණය ඉටු වන, මාධ්යවේදීන්ට නිදහසේ තම වගකීම ඉටු කළ හැකි සහ රට හැර ගොස් සිටින මාධ්යවේදීන්ට යළි සිය රට පැමිණීමට හැකි පරිසරයක් නිර්මාණය කර ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් ගොඩ නගා ගත යුතුමය. එහිදී මේ සඳහා ගොඩනැගෙන පුළුල් පෙරමුණක සක්රීය වැඩ කොටසක් කිරීමට අප සූදානම්ය. ඒ උදෙසා අප සමග එක්වන ලෙස ප්රජාතන්ත්රවාදය හා මාධ්ය නිදහස අගයන ලොව පුරා සිටින සියලුම දෙනාගෙන් උදක්ම ඉල්ලා සිටිමු.