පිළියන්දල ලොක් ඩවුන් එක ඉවත් කළේ අනුදැනුමකින් තොරව - වාර්තා නොවූ රෝගීන් නිදැල්ලේ සැරිසරනවා (VIDEO)

පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කර පැය 8ක් ගත වීමට මත්තෙන් එය ඉවත් කිරීම සිදුවූයේ තමන් දැනුවත්ව නොවන බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර පවසයි.

වාර්තා නොවූ කොවිඩ් රෝගීන් මේ වනවිටත් නිදැල්ලේ සැරිසරමින් සිටින බවත් රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම නිසා රෝගීන් 100ක පමණ ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ රැඳී සිටින බවත් ඊයේ (3) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කර තිබුණි.

"සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට මම ලිඛිතව ඉල්ලීමක් කළා මුළු පිළියන්දල ප්‍රදේශයම ලොක් ඩවුන් කරන්න කියන එක තමයි අපි ඉල්ලීම කළේ. නමුත් ඒක මගේ දැනුවත් වීමකින් තොරව තමයි එම සීමාවන් අයින් කළේ. ඇත්තටම දැනටත් මගේ ඉල්ලීම මේ විශාල ප්‍රදේශයක් ලොක් ඩවුන් කිරීම මගින් පමණයි මෙම අපේ බලාපොරොත්තු වන ඉලක්කය ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ.

අපිට පෙනෙන රෝගීන් සංඛ්‍යාව අනුව තමයි මේ හුදෙකලාභාවයට පත් කිරීම තීරණය කරලා තියෙන්නේ. වාර්තා නොවූ රෝගීන් නිදැල්ලේ සැරිසරමින් මේ වනවිටත් ඉන්නවා. රෝහල් ගත කිරීමට ප්‍රමාද වීම නිසා රෝගීන් 100ක පමණ ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ රැඳී සිටිනවා දැන් මේ වෙනකොට. සුවසැරිය ගිලන් රථයට මේ සියලු රෝගීන් ප්‍රවාහනය කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා පැය ගණන් රෝගියෙක් රෝහලක් සොයා ගත්තත් ප්‍රවාහනය කිරීමේ ප්‍රමාද වීම් තියෙනවා ඒ නිසා රෝගීන් නිවෙස් තුල මියයාමේ හැකියාවක් තියෙනවා මේ තත්වය ඉදිරියට පැවතුනොත්."

මේ අතර පිළියන්දල පොලිස් බල ප්‍රදේශය හුදෙකලා තත්වයෙන් ඉවත් කිරීම ගැන අමාත්‍ය ගාමිණි ලොකුගේ දැරුවේ මෙවන් අදහසකි.

 

Search