කතානායකතුමා දැන් පුටුවේ ඉඳගන්නෙත් ආණ්ඩුව ඉන්න දකුණට බරවෙලා - අනුර කුමාර

 

පාර්ලිමේන්තුවේ දී අපක්ෂපාතිව කටයුතු කළ යුතු කතානායකවරයා මේ වනවිට කතානායක පුටුවේ වාඩි වී පවා සිටින්නේ ආණ්ඩු පක්ෂය සිටින දකුණු පැත්තට බරවී

යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද (24) පාර්ලිමේන්තුවේ දී චෝදනා කර සිටියේ ය.

ඔහු එම ප්‍රකාශය සිදු කරන අවස්ථාවේ දී දකුණට බරවී වාඩි වී සිටි කතානායකවරයා සිනාසී වහාම කෙලින් වන අයුරු දක්නට ලැබුණි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ විපක්ෂයේ ප්‍රශ්න ඇසීමේ අයිතියට සීමා පැනවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන නියෝග ලබාදීම ගැන විවේචනය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ ය. පාර්ලිමේන්තු මන්ත්‍රී ජි.ජි.පොන්නම්බලම් ප්‍රකාශයක් සිදු කිරීමට යාමේ දී ඒ සම්බන්ධයෙන් මතුවූ ගැටළුවක් මිට මුල්විය.

"අපි දීර්ඝ කාලයක ඉඳලා ඒ හැම අවස්ථාවකදීම පක්ෂ නායකයකුට එවැනි විශේෂ ප්‍රකාශයක් කොට ප්‍රශ්නයක් විමසීම සඳහා අවස්ථාව දුන්නා. ඒක මම හිතන්නේ ගරු අග්‍රාමාත්‍යතුමා පිලිගන්නවා. විශේෂයෙන්ම ස්ථාවර නියෝගවල මේ අයිතිය පක්ෂ නායකයින්ට ලබාදීලා තියෙනවා."

"අඩුමතරමින්, පක්ෂ නායකයන්ට හිමි අයිතියක් උල්ලංඝනය කරන්න හදනකොට, අයිතිය අත්හිටවීම ඔබතුමා නියෝගයක් ලබාදෙන්න හදනකොට එම පක්ෂ සමඟ වත් අවම වශයෙන් සාකච්ඡා කිරීමේ අවම සදාචාරයක් ඔබතුමා ආරක්ෂා කරගත යුතුව තිබුනා කියලා මම විශ්වාස කරනවා."

"ආණ්ඩුව දකුණු පැත්තේ වැඩිවෙලා ඉන්නවා. විපක්ෂය වම් පැත්තේ වැඩිවෙලා ඉන්නවා. කතානායක පුටුව හරි මැද තියෙන්නේ. හැබැයි ඔබතුමා දැනුත් දකුණට බරව වාඩිවෙලා ඉන්නේ. මේ සම්ප්‍රදාය ඔබතුමා නතර කරන්න කරුණාකරලා. පක්ෂ නායකයකුට 27/2 යටතේ ප්‍රශ්නයක් විමසීමට තිබෙන අවස්ථාව දෙන්න."

"යම් පක්ෂ නායකයෙක් විසින් ඔබතුමාට 27 (2) ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඔබතුමා නියෝගයක් ලබාදී තියෙනවා එම 27 (2) ප්‍රකාශ මේ පාර්ලිමේන්තුවේ කරන්න බෑ අධිකරණයේ නඩුවක් විභාගයට ලක්වෙමින් තිබෙන නිසා කියලා. එතකොට ඒක පක්ෂ නායකයින්ට අයිති කාරණයක් නෙවෙයි. පාර්ශ්ව විසින් පෙන්වා දී තියෙනවා එය අහවර වූ නඩුවක්. එහෙනම් ඔබතුමා එම ප්‍රකාශය සිදු කිරීමට නොදීම සඳහා පදනම් කරගත්තේ අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබෙන බව. නමුත් දැන් එළිදරව් වී තිබෙනවා අධිකරණයේ එම නඩුව අවසන් වී තිබෙන බව. දැන් ඔබතුමා ගොඩනගන ලද තර්කය අවලංගු වී තිබෙනවා. ඒ නිසා ඔබතුමා විසින්ම දැන් ඒ ප්‍රකාශය කිරීමට අවස්ථාව ලබාදිය යුතුයි. එය ඔබතුමා විසින් වැරදි අවබෝධය මත ලබාදුන් තීන්දුවක් මත පදනම් වූ ගැටළුවක්. එය විසඳිය යුතු වන්නේ ම ඔබතුමා විසින්ම පමණයි. එය හෙට දිනයේ පක්ෂ නායක රැස්වීමේ දී කතාකිරීමෙන් පලක් නැහැ."

 

Search