සමාජය කොතරම් සංකීර්ණ උනත්, තාක්ෂනිකව දියුණු උනත්, නව දැනුම්සම්භාරයන් ලැබුවත්, වයලීනය නොවැදගත් උනේ නැහැ.
ගිටාරය, පියානෝව, බට නලාව මේ කිසිවක් අහෝසි උනේ නැහැ. ඉලෙක්ට්‍රෝනික වයලීනයේ තාක්ෂණය සම්මත වයලීනයෙන් වෙනස් උනත් සිදු වෙන කාර්යය එකමයි. මේ වයලීන වර්ග දෙකම වාදනය කරන අයගේ දක්ෂතාව එක හා සමාන යි.
නමුත් සංගීතයට සාපේක්ෂව 1990 දශකයෙන් පසුව ලංකාවේ දෘෂ්‍ය කලාව හුදෙක් effects සහ සංකල්ප වලට පමණක් ඌණනය වෙලා එය අධිනිෂ්චය උනා. එහෙම උනේ අස්වාභාවිකව සහ උත්තරාරෝපිතව බවයි පේන්නේ. සමකාලීන කලාකරුවන් වැඩි ප්‍රමාණයක් තමන්ගේ කලාවේ ගමන් මාර්ගය හෙළි කරන්නැත්තේ මේ නිසා විය හැකියි. නිදහස් සංකල්පීය කලා කෘති නිමවන බොහෝ බටහිර රටවල දෘෂ්‍ය කලා අධ්‍යාපනයේ මූලධාර්මික අංගයන් අහෝසි නොවී ඇති පසුබිමක ලංකාවේ දෘෂ්‍ය කලාවේ නව රැල්ලට සමගාමීව කලා ඇකඩමියට ඇතුලත් වීමේ ප්‍රායෝගික පරීක්ෂණය පවා මේ වන විට ඉවත් කෙරෙන තැනටද කටයුතු යෙදුණා. එක පැත්තකින් දෘෂ්‍ය කලාව භාෂා ප්‍රලාපයන්ගෙන් ආඩ්‍ය උන පසුබිමක, තව පැත්තකින් දෘෂ්‍ය කලා කෘති හැටියට දෘෂ්‍ය කලාකරුවන් විසින් පිරිස් යොදවා effects හදන පසුබිමක, දෘෂ්‍ය කලාවේ මූලිකාංග හා බැදුණු ගතිකත්වයන් හා හැගීම් නැවත විදාරණය කිරීමට මට උවමනා උනා.
ගියවර රේඛාව ගවේෂණය කළ මම මේ ප්‍රදර්ශනය මගින් කරන්නේ දෘෂ්‍ය කෙටුම්පත්කරණ සළකුණු හුවා දැක්වීමයි. දූවිලි වලින් සමන්විත පා සළඹක් කිසියම් මතු පිටක ගැටි සළකුණක් හැටියට සටහන් වනවා වගේ අතේ ඇගිලි වල රුවා ගත්ත චාකෝල් කූරක් කඩදාසියක උලන විට එක පැත්තකින් එය කරන පුද්ගලයාගේ නෛසර්ගික රිද්මය, තව පැත්තකින් දෘෂ්‍ය කලාව තුළ එම පුද්ගලයාගේ පුහුණු හස්ත රිද්මය සටහන් වෙනවා. මෙන්න මේ drafting නිමේෂය පින්තාරුකරණයෙන් ලබන්න බැහැ. ඒ වගේ ම බහු මාධ්‍ය Material වලින් ද ලැබිය හැකි දෙයක් ද නොවේ. එය ඇත්තේ ඇදීම හෙවත් draw කිරීම තුළ ය. මෙන්න මේ drafting නිමේෂය දැනවෙන Drawing මාදිලිය ගැන මට ඇත්තේ ප්‍රමෝදයක්.
ඇත්තම කියනවා නම් චාකෝල් කූර කඩදාසියේ උලන විට නිකුත් වෙන ‘බරාස්‘ ‘බරාස්‘ ගාන සද්දය පවා මට අසිරියක්. තෘප්තියක්.
ඒක නොනවත්වා වයන වයලීන වාදනයක් වගේ නොවුනත් ඒක ජීවමය ගුණයකින් යුක්තයි. පුද්ගලානුබද්ධයි. එය එක අතකින් Objective යන්නට වඩා Subjective වෙනවා.
සැප්තැම්බර් 18 වෙනිදා සිට බෙයාර්ෆූට් ගැලරියේදී පැවැත්වෙන මගේ ප්‍රදර්ශනය මගේ drafting ප්‍රමෝදයේ ප්‍රතිඵල. ඔබත් එහි මිහිර අත්විදින්න.
__________________
සුජිත් රත්නායක