‘‘සිංහල ජාතිය’’ හා ‘‘ගාඩියන්’’ පුවත්පත්වල උසාවි වාර්තාකරුවකු ලෙස පුවත්පත් කලාවට පිවිසි එල්මෝ ගුණරත්න ‘‘සිංහල’’ සහ ‘‘ඉංග්‍රීසි’’ ද්වී භාෂාවෙන්ම පෙළහර පෑ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. 1955 ජනවාරි 01
වැනිදා ලේක් හවුස් ආයතනයට සම්බන්ධ වන ඔහු ‘‘සිළුමිණ’’, ‘‘ජනතා’’, ‘‘ඩේලි නිව්ස්’’ හා ‘‘සන්ඩේ ඔබ්සවර්’’ පුවත්පත්වල පොලිස් හා දේශපාලන වාර්තාකරුවකු ලෙස එහි වෘත්තීය ආරම්භ කළේය. දසක ගණනාවක පූර්ණකාලීන පුවත්පත්කලා දිවියට ඔහු සමු දුන්නේ පියවරෙන් පියවර ඉදිරියට පැමිණ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් කිහිපයකම කළමනාකරණ කර්තෘ ලෙස කටයුතු කිරීමෙන් අනතුරුවය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයකුව සිටි අවධියේදීම එල්මෝට ආචර්ය එන්.එම්. පෙරේරා හඳුනා ගැනීමට අවස්ථාව ලැබිණි. එතැන් පටන් සිය වෘත්තීය ජීවිතය තුළ දේශපාලනඥයන් හා ප්‍රභූන් රැසක් සමග ඔහු පවත්වන්නේ ළඟ ඇසුරකි.
පනස් හයේ බණ්ඩාරනායකගේ ජයග්‍රහණය දක්වා අපි පසුගිය සතියේ කතා කළා. ජයග්‍රහණයෙන් පස්සෙත් ඔහු හා බැඳුණු රසවත් සිදුවීම් ඇති. මතක් කරමුද ඒවයින් එකක් දෙකක්?
පනස් හයේ අවුරුද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ වාර්ෂික සම්මේලනය තිබුණේ ගාල්ලේ. එතකොට මැතිවරණය අවසන් වෙලා බණ්ඩාරනායක අගමැති. සම්මේලනයට කලින් දවසේ බණ්ඩාරනායක මහත්තයා ගාල්ලට ආවා. රාත්‍රී නවාතැන් ගත්තේ බෙන්තොට තානායමේ. සම්මේලනය ආවරණය කරන්න කොළඹින් පැමිණි පුවත්පත් කලාවේදීන්ටත් නවාතැන් සූදානම් කරලා තිබුණෙ බෙන්තොට තානායමේමයි.
ඔබත් ගාලු ගියාද?
ඔව්. එදා රාත්‍රී ආහාරය බණ්ඩාරනායක ගත්තේ පුවත්පත් කලාවේදීන් එක්කමයි. රෑ කෑම කන අතරේ අලුත් අගමැතිවරයා කිව්වා ඕන ප්‍රශ්නයක් අහන්න කියලා. ඔබ්සවර් පුවත්පතේ රෙඩෝ සමරවීර ඇහුවා ‘‘ඩී. එස්. සේනානායකගෙන් පස්සේ අගමැති වෙන්න ඉඳලත් ඔබ ඇයි යූඑන්පීයෙන් ඉවත් වුණේ?’’ කියලා.
බණ්ඩාරනායක මහත්තයා ඒකට උත්තර දුන්නේ ‘‘යූඑන්පීයට බැඳුණු දවසේ ඉඳලා මම එකක් දැනගෙන හිටියා. ඒ තමයි කවදාවත් මට අගමැතිකම ලැබෙන්නේ නෑ කියන එක. මේක හදිසියේ ඇතිවෙච්ච කුමන්ත්‍රණයක් නෙමෙයි. එක්දහස් නවසිය හතළිස් ගණන්වල රාජ්‍ය මන්ත්‍රණ සභා කාලේ ඉඳලම මේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වුණා. ඒක දැනගෙන හිටිය නිසා තමයි මට අගමැති වෙන්න පුළුවන් වුණේ. ඒක නොදැන හිටියා නම් මම තවමත් ඇමැතිවරයෙක්’’ කියලා.
ඉතින් ඔබලා ඩඩ්ලි ගැන ඇහුවේ නැද්ද?
මොකද නැත්තේ. සමරවීර ඇහුවා ‘‘ඩඩ්ලි අගමැති වෙන බව ඔහු දැනගෙන හිටියද?’’ කියලා. ඒකට බණ්ඩාරනායක උත්තර දුන්නා ‘‘කුමන්ත්‍රණය කළ පිරිසමයි පසුව ඩඩ්ලිට අස්වෙන්න මග පෑදුවෙත්, හැබැයි මම මේ වෙලාවේ ඔවුන් ගැන කියන්න ලෑස්ති නෑ’’ කියලා. ඒ කතාව එහෙම ඉවර වුණා. හොඳම හරිය වුණේ ඊට පහුවෙනිදා උදේ.
ඒ මොකක්ද?
බණ්ඩාරනායක මහත්තයා උදේ කෑම ගත්තෙත් පුවත්පත් කලාවේදීන් එක්ක. ඒ දවස්වල සමහර පත්තරවල පළවුණා බණ්ඩාරනායක ඉඳිආප්ප, කිරිබත් වගේ දේවල් කන්නෙත් හැඳි ගෑරුප්පුවලින් කියලා. දැන් අපි එකම මේසේ වාඩිවෙලා උදේ ආහාරය ගන්නවා. මගේ ළඟම පුටුවේ වාඩිවෙලා හිටියෙ හෙක්ටර් සුමතිපාල. ඔහු ලේක්හවුස් එකේ ඡායාරූප ශිල්පියෙක්.
බණ්ඩාරනායක පිඟානට කිරිබත් බෙදාගත්තා. ඔහු පුරුදු පරිදි කිරිබත් කන්න පටන් ගත්තේ හැඳි ගෑරුප්පුවලින්. බණ්ඩාරනායක මහත්තයා ටිකක් වෙලා කනකම් ඉඳලා හෙක්ටර් සුමතිපාල හිමින් සැරේ පුටුවෙන් නැගිට්ටා. ඊට පස්සේ ඔහු මගේ පුටුව පිටුපසින් ගිහින් කැමරාව අතට ගත්තා. මටත් හිතාගන්න බැරි වුණා මොකක්ද ඔහු කරන්න යන්නේ කියලා.
සුමතිපාල මොකක්ද කළේ?
ඔහු හඬ නොනැගෙන ලෙස පුටුවක් බණ්ඩාරනායක මහත්තයා වාඩිවෙලා හිටිය පුටුව පිටුපසින් තියා ගත්තා. ඊට පස්සේ ඒකට නැගලා බණ්ඩාරනායක හැන්දෙනුයි, ගෑරුප්පුවෙනුයි කිරිබත් කන හැටි ෆොටෝ ගන්න හැදුවා.
ඉතින් බණ්ඩාරනායක ඒක දැක්කේ නැද්ද?
බණ්ඩාරනායකට තේරුණා සුමතිපාල කරන්න යන දේ. ඔහු මහ හඬින් කෑ ගැහුවා ‘‘මිනිහෝ ජරා වැඩ කරන්න එපා’’ කියලා. ‘‘තමුසෙලාගේ ඔබ්සවර් කර්තෘ ටාසි විට්ටච්චිද මේ පින්තූරේ ගන්න කිව්වේ?’’ කියලා මහ හඬින් ඇහුවා.
බණ්ඩාරනායක මහත්තයාගේ සද්දෙට බයවෙච්ච සුමතිපාල කෑම මේසෙට ඇද වැටුණා. මේසේ බඳුන්වල තිබ්බ කෑම හැමෝගේම වගේ ඇඳුම්වලට වීසිවුණා. බණ්ඩාරනායකගේ ඇඳුමෙත් කිරි හොඳියි, මිරිස් හොදියි. ඇඳුම්වලට කෑම විසි වෙච්ච හැමෝම ගිහින් ඇඳුම් මාරු කරගෙන ආවා. ඒ වෙද්දි රෙස්ට් හවුස් රාළහාමි අලුත් කෑම මේසයක් ලෑස්ති කරලා තිබුණා.
බණ්ඩාරනායක මහත්තයාගේ කේන්තිය ඒ වෙනකොට නිවිලා තිබුණද? ඔහු මොනවද හෙක්ටර් සුමතිපාලට කිව්වේ?
ඔව්. බණ්ඩාරනායකට සෑහෙන දුරට කේන්තිය නිවිලා තිබුණේ. ‘‘ටාසි විට්ටච්චිලා දෙන ලණු කන්න එපා’’ කියලා සුමතිපාලට කිව්වා. ‘‘ඔය කර්තෘවරයා මේ ආණ්ඩුවට විරුද්ධයි. ඒකයි ඔය වගේ පින්තූර අරන් එන්න කියන්නේ. සුමතිපාල පරිස්සම් වෙන්න. මොකද ඔය කර්තෘවරු ඒවි යාවි. හැබැයි ඔබට කාලයක් සේවය කරන්න වේවි’’ කියලත් බණ්ඩාරනායක කිව්වා. ඊට පස්සේ හිනා වෙවී ඔහු කිව්වා ‘‘පින්තූරේ අරන් යැව්වා නම් කොලට් කාටුන් එකකුත් අඳී නේද?’’ කියලා.
බණ්ඩාරනායක ආණ්ඩුව දෙදරවපු පළමු සිදුවීම මොකක් කියලද ඔබ හිතන්නේ?
ඔබ අහපු දේට අදහසක් ගන්න මම එක සිදුවීමක් කියන්නම්. බණ්ඩාරනායක අගමැති වුණාට පස්සේ හැම බදාදාම මටයි, පෙරමුණේ තිලකටයි ඔහුව හමුවෙන්න කියලා තිබුණා. ඉතින් හැම බදාදාම අපි දෙන්නා යනවා බණ්ඩාරනායක හමුවෙන්න. පරණ පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලෙදි තමයි මේ හමුව සිදු වුණේ. දවසක් එහෙම යද්දී පෙරමුණේ ඇවිත් හිටියේ නැහැ. ඔහුට හදිසියේ වෙන වැඩක් යෙදිලා. පෙරමුණේ මට පණිවුඩයක් කියලා තිබුණා පත්තරේ පළ කරන්න වැදගත් දෙයක් කිව්වොත් ඔහුටත් දැනුම් දෙන්න කියලා.
මම පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයට ගියහම ඩන්කන් අල්විස් තමයි මුලින්ම හමුවුණේ. ඔහු බණ්ඩාරනායක මහත්තයාගේ පෞද්ගලික ලේකම්. ඩන්කන් කිව්වා ‘‘පොඩ්ඩක් ඉන්න, අගමැතිතුමා පයිප්පේ උරනවා’’ කියලා. ඒ එක්කම වගේ මාපිටිගම බුද්ධරක්ඛිත හාමුදුරුවොයි, විමලා විජයවර්ධනයි ආවා. දෙන්නගෙම මුහුණේ හොඳ පාටක් පේන්න තිබුණේ නැහැ. දෙන්නම ඇතුළට ගියා. ටික වේලාවකින් නිමල් කරුණාතිලකත් ආවා. නිමල් පුවත්පත් කලාවේදියෙක්. නිමල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ලේකම් වෙලත් හිටියා කාලයක්. ඔහුත් ඇතුළට ගියා.කාර්යාලය ඇතුළෙන් උස් හඬින් කතා බහ කරනවා ඇහෙන්න වැඩි වේලාවක් ගියේ නැහැ. ඔවුන් කතාබහ කරන්නේ මොනවද කියලා අපට තේරුණේ නෑ. නිමල් කරුණාතිලක එළියට ආවේ කලබලෙන් වගේ.
මොකක්ද ඇතුළේ වෙලා තියෙන්නේ?නිමල් කිව්වා ‘‘ආණ්ඩුවේ අවසානය පටන් ගත්තේ අද කියලා මතක තියාගන්න’’ කියලා. මම ඇහුවා ඇයි එහෙම කියන්නේ කියලා. ‘‘බණ්ඩාරනායක මහත්තයාගෙන් අහන්න, එයා කියයි’’ කියලා නිමල් පිටව ගියා.
ඔබ අගමැතිගෙන් ඇහුවද මොකද වුණේ කියලා?
ඔව්, මෙහෙමයි. බණ්ඩාරනායක මහත්තයාගේ සමහර විහිළු දරාගන්න අමාරුයි. බුද්ධරක්ඛිත හාමුදුරුවොයි, විමලා විජයවර්ධනයි ඇවිත් තියෙන්නේ ඔවුන්ගේ දුක් ගැනවිල්ලක් කියන්න. ‘‘විමලා විජේවර්ධන බාගෙට ඇඳුම් ඇඳන් ඉන්න පින්තූර සමහර පත්තරවල පළවෙනවා. අපි දෙන්නා ඔංචිලි පදින පින්තූරත් පළවෙලා තිබුණා. ඒවා අපට අපහාසයක්. මේ අපට කරන අපහාස නතර කරලා දෙන්න’’ කියලා බුද්ධරක්ඛිත හාමුදුරුවෝ ඉල්ලලා තියෙනවා. බණ්ඩාරනායක සද්ද නැතුව ඔක්කොම අහගෙන ඉඳලා පෙරළා අහලා තියෙනවා ‘‘ඒවා ඇත්තද?’’ කියලා.
බුද්ධරක්ඛිත හාමුදුරුවො මොනවද ඒකට කියලා තියෙන්නේ?
හාමුදුරුවන්ට හොඳටම තරහා ගිහින්. පුටුවකටත් පයින් ගහලා. ඊට පස්සේ තමයි දෙන්නා තරහෙන් පුපුර පුපුර පිටවෙලා ගියේ. නිමල් කරුණාතිලක කියපු විදිහටත් මම හිතන විදියටත් බණ්ඩාරනායක ආණ්ඩුව දෙදරවපු තීරණාත්මක සිදුවීමක් තමයි ඒක.
වසර කිහිපයක්ම බණ්ඩාරනායක සමග ඔබට සමීප හිතවත්කමක් තිබුණා. ඔබ හිතන විදියට බණ්ඩාරනායක කියන්නේ කොහොම චරිතයක්ද?
මෙහෙමයි. ලෝකෙට පෙන්නන කෙනා නෙමෙයි ඇතුළේ හිටියේ. බණ්ඩාරනායකගේ ඇත්ත අදහස් මොනවද කියලා අපි කාටවත් කියන්න බැහැ. මිසිස් බණ්ඩාරනායක දැනගෙන ඉන්න ඇති ඔහුගේ ඇත්ත අදහස් ගැන. ඔහු කොහොම කෙනෙක්ද කියන එක ගැන. ඒත් සමහර වෙලාවට මට හිතෙනවා ඇයටවත් බණ්ඩාරනායකව හරියට අඳුනගන්න පුළුවන් වුණාද කියලා.
බණ්ඩාරනායක මහත්තයා අගමැති වෙන්න කලින් හරි අගමැති වුණාට පස්සේ හරි පත්තරවලට බලපෑම් කළේ නැද්ද?
නැහැ. එහෙම බලපෑම් කළේ නම් නැහැ. හැබැයි එක පාරක් මෙහෙම දෙයක් වුණා. ඒ කාලේ රාජා තිලකරත්න කියලා ප්‍රවෘත්ති කර්තෘ කෙනෙක් හිටියා. මම දවසක් වැඩ ඇරිලා ගෙදර එන්න හදද්දී රාජා තවත් ප්‍රවෘත්ති වාර්තාකරුවෙක් එක්ක කතාබහ කර කර හිටියා. මං ඇහුවා ‘‘මොකද රාජා?’’ කියලා. ‘‘නෑ මේ මොකුත් නෑ’’ කියලා ඔහු කිව්වහම මම ගෙදර ආවා.
පහුවදා පාන්දර පහට විතර එස්මන්ඩ් වික්‍රමසිංහ මට ටෙලිෆෝන් කළා. වහාම ලේක්හවුස් එකට එන්න කිව්වා. මොකක් හරි අවුලක් තමයි කියලා හිතලා මම ඉක්මනට ගියා. බැලුවහම ජනතා පත්තරේ හෙඩ්ලයින් එකට ගහලා ‘‘බණ්ඩාරනායක ආණ්ඩුව අවසන්’’ කියලා. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිත බවත් කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමට නියමිත බවත් එහි සඳහන් වුණා. එස්මන්ඩ් වික්‍රමසිංහ මටයි, ඩෙන්සිල් පීරිස්ටයි ගිහින් බණ්ඩාරනායක හම්බවෙන්න කිව්වා.
ඔබ දෙපළ ගියාද? බණ්ඩාරනායකගේ හැසිරීම කොහොම වුණාද?
අපි යද්දී බණ්ඩාරනායකට කොච්චර කේන්ති ගිහින්ද කියනවා නම් ඔහු හැසිරුනේ හරියට කේන්ති ගිය කොටියෙක් වගේ. ඔහුට එතරම් කේන්ති ගිහින් තියෙනවත්, ඔහුගෙන් ඒ වගේ හැසිරීමකුත් මම දැක්කේ පළමුවෙනි වතාවට. ‘‘මේ ප්‍රවෘත්තිය අමූලික බොරුවක්. ඕක පිටිපස්සේ ඉන්නේ බුද්ධරක්ඛිත හාමුදුරුවෝ’’ කියලා බණ්ඩාරනායක කිව්වා. ‘‘ජේ. ආර්. ජයවර්ධනත් මේක පිටිපස්සේ ඉන්නවා’’ කියලත් ඔහු කිව්වා.
මමයි ඩෙන්සිලුයි ඇහුවා ‘‘මේක විසඳගන්න අපි මොකද කරන්න ඕන?’’ කියලා. එතකොට බණ්ඩාරනායක කිව්වා ‘‘පැය විසිහතරක් ඇතුළත රාජා තිලකරත්නව ලේක්හවුස් එකෙන් ඉවත් කරන්න ඕනෑ’’ කියලා. අපි ආපහු කාර්යාලයට ඇවිත් එස්මන්ඩ්ට ඒ බව කිව්වා. එස්මන්ඩ් එතකොට කිව්වා ‘‘ටිකක් දවල් වෙලා ගිහින් බලන්න, එතකොට කේන්තිය නිවිලා තියෙයි’’ කියලා. මම ගියා ඊට පැය කිහිපයකට පස්සේ. එතකොටත් කලින් විදිහමයි. කේන්තිය පොඩ්ඩක්වත් අඩුවෙලා නැහැ. ‘‘බොරු පළකරන රාජා තිලකරත්නව අස් නොකර මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ’’ කියලා බණ්ඩාරනායක කිව්වා.
රාජා තිලකරත්නව අස් කළාද ඉතින්?
ඔව්. ඔහු ලේක්හවුස් ආයතනයෙන් ඉවත් කළා. මනුස්සයෙක්ව රස්සාවෙන් අයින් කරන්න කියලා බණ්ඩාරනායක කියනවා මම ඒ ඇහුවමයි. අනෙක් අතට ඒ ප්‍රවෘත්තියත් බොරු. බුද්ධරක්ඛිත හාමුදුරුවන්ගේ මෙහෙයවීමට තමයි ප්‍රවෘත්තිය පළ කරලා තියෙන්නේ. බණ්ඩාරනායක එතරම් තදින් කටයුතු කළේ සියලු තොරතුරු හොයාගෙන.
ඔය කාලේ අනෙක් පෙරළිකාර චරිතය තමයි සර් ජෝන් කොතලාවල. මොනවද ඔබට ඔහුත් සමග තියෙන මතකයන්?
සර් ජෝනුත් මාත් එක්ක හරිම හිතවත්. ඔහු බොහොම සැහැල්ලුවෙන් ජීවත් වුණේ. සින්දු කියනවා, පාටි දානවා, නටනවා, ක්‍රිකටුත් ගහනවා. සර් ජෝන්ට ලොකු විශ්වාසයක් තිබුණා ඩී. එස්. සේනානායකගෙන් පස්සේ ඔහු තමයි අගමැති වෙන්නේ කියලා.
හැබැයි පක්ෂය ඇතුළේ සිදුවෙමින් තිබුණු කුමන්ත්‍රණය සර් ජෝන්ට තේරුණේ නැහැ. බණ්ඩාරනායකට ඒක තේරුණු නිසා තමයි ඔහු වෙනම ගමනක් යන්න තීරණ කළේ. ඔය හැමදේම වෙද්දිත් සර් ජෝන් කළේ සුපුරුදු සැහැල්ලු ජීවිතය ගෙවපු එක. ඒ අතරේ තමයි ඩී. එස්. අස්සයාගේ පිටින් වැටිලා මිය ගියේ.
සර් ජෝන් මොකද කළේ ඒ වෙලාවේ?
ඔහු අගමැති වෙන්න සූදානම් වුණා. සර් ජෝන්ගේ ලේකම් තමයි ආනන්ද තිස්ස ද අල්විස්. ආනන්ද මට කියපු විදියට කාලෙක ඉඳලා සර් ජෝන් හැසිරුණේ අගමැති වගේලු. සර් ජෝන් ඇන්දේ, කෑවේ, බීවේ වගේම මිනිස්සු එක්ක කතාබහ කළේ, අමුත්තෝ පිළිගත්තේ එහෙමත් අගමැති වගේ කියලයි ආනන්ද තිස්ස කිව්වේ.
ඩඩ්ලි අගමැති කරන කොට සර් ජෝන් මොකද කළේ ඉතින්?
අගමැති පත්කරන අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමි ලංකාවට එන්න ඕනෑ. හැබැයි ඔහු එන එක එන්න එන්නම ප්‍රමාද වෙනවා. එහෙම ප්‍රමාද වෙලා ඇවිත් ඩඩ්ලිව අගමැති කළහම සර් ජෝන්ට හොඳටම කේන්ති ගියා. ඔහුගේ හීනය ඉවරයි. ඩඩ්ලි අගමැති කළා කියලා ආරංචි වුණහම සර් ජෝන් කරලා තියෙන්නේ ළඟ පාත තිබුණු පුටු මේස පොලේ ගහන එක. ඊට පස්සේ කියලා මට විරුද්ධව කුමන්ත්‍රණය කළ අය ගැන හොයන්න කියලා.
සර් ජෝන්ව හමුවෙන්න ආපු අයට ඔහු දක්වපු ප්‍රතිචාර කොහොමද?
ජී. ජී. පොන්නම්බලම්ට තමයි ලස්සනම වැඩේ වුණේ. ඩී. එස්. ගෙන් පස්සේ ඩඩ්ලිව අගමැති කරන්න කරපු කුමන්ත්‍රණය ගැන පොන්නම්බලම් දැනගෙන හිටියා. ඔහු යම් සහයෝගයකුත් එයට දැක්වූවා. හැබැයි ඩඩ්ලිව අගමැති කළ බව නොදැන ඔහු සර් ජෝන් හමුවෙන්න ආවා කඳවල වලව්වට.
පොන්නම්බලම් ඇවිත් බව දැනගෙන සර් ජෝන් තුවක්කුවත් අතට අරන්. පොන්නම්බලම්ට එකපාරට ඇහිලා තියෙනවා වෙඩි සද්දයක්. බැලුවම සර් ජෝන් අහසට වෙඩි තියලා. ඒකට බයවෙච්ච පාර පොන්නම්බලම් දුවන්න පටන් අරන්. පොන්නම්බලම් කොච්චර බයවෙලාද කියනවා නම් ආපු පාරත් හොයාගන්න බැරුව දුවලා තියෙන්නේ.
හසිත කුරුප්පු -අරුණ පුවත්