නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ අනාගතය

නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ අනාගතය

වත්මන් ශ්‍රී ලංකාව තුළ දීර්ඝ වශයෙන් කතාබහට ලක් වන කාරණයක් නම් නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවයයි. රටේ ආර්ථිකය සමඟ සියලු සමාජ බිඳ වැටීම්, පිරිහීම්, දූෂණ සඳහා මුල පිරුම ඇත්තේ දශක ගණනාවක සිට අධ්‍යාපනයෙහි පවත්නා ගරාවැටීමයි. ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අතීතය පිළිබඳව විමසා බැලීමේදී එය දීර්ඝ කාලයක් තිස්සේ සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රමවේදයන්ට සීමා වී තිබුණකි. කටපාඩම් කිරීමට සහ විභාග සමත්වීමට පමණක් සීමාව තිබුණු අධ්‍යාපන රටාව, විසිඑක්වන සියවසට අවශ්‍ය කුසලතාවලින් සන්නද්ධ පුරවැසියන් බිහිකිරීමට ප්‍රමාණවත් නොවන බවට චෝදනා එල්ලවිණ. මෙවන් වූ තත්ත්වයක් හමුවේ රටේ අනාගතය උදෙසා නවීන, ප්‍රායෝගික මෙන්ම ගෝලීය අවශ්‍යතාවලට ගැළපෙන පරිදි අධ්‍යාපනික ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය මතු විය.

වර්තමාන රජය විසින් හඳුන්වා දී ඇති නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ මාලාව ශ්‍රී ලංකාවේ අනාගතය හැඩගැස්වීමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාව තුළ මෙවැනි වූ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ මූලික අරමුණු වී ඇත්තේ, සිසුන්ගේ විවේචනාත්මක චින්තනය, ගැටලු විසඳීමේ හැකියාව, නිර්මාණශීලීත්වය වැනි වූ කුසලතා සංවර්ධනයයි. වර්තමාන ලාංකික අධ්‍යාපන ක්‍රමය තුළ මෙම අරමුණු සාක්‍ෂාත් කර ගැනීම දුෂ්කර කර්තව්‍යක් වී ඇත්තේ පවතින විභාග කේන්ද්‍රීය ක්‍රමයයි. එනම්, නිරන්තරයෙන් ශිෂ්‍යයා කටපාඩම් ස්වරූපයෙන් හෝ විභාගය වෙනුවෙන් පාඩම් කරනවා මිස, තමාට අවශ්‍ය දැනුම සම්පාදනය කිරීමේ අරමුණින්, තම අනාගතය උදෙසා අධ්‍යාපනයක් ලබා ගැනීම සිදු නොවීම කනගාටුදායක තත්ත්වයකි. එනම් මෙහිදී වැදගත් වනුයේ විභාග කේන්ද්‍රීය ක්‍රමය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් ක්‍රමවේදයන් හඳුන්වා දීමට උත්සාහ කිරීමයි. අද වන විට නව විෂය නිර්දේශයන් තුළ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන විෂය නිර්දේශයන්ට ඉහළ අවධානයක් යොමු කර තිබීම කැපී පෙනෙන තත්ත්වයකි. එමෙන්ම අදවන විට ඉතිහාසය, භූගෝලය හා ප්‍රජාචාරය ඒකාබද්ධ කොට ‘සමාජ අධ්‍යයනය’ විෂය ලෙස නව විෂයක් විෂය මාලාවට ඇතුළත් කර ඇත. මේවා ගෝලීය වශයෙන් ද ඉහළ ඉල්ලුමක් සහිත ක්‍ෂේත්‍රයන් වන අතර ශ්‍රී ලංකාවට දැනුම පදනම් කරගත් ආර්ථිකයක් කරා ගමන් කිරීමට මෙය අත්‍යවශ්‍ය වේ.

මෙපමණක්ම නොව, වත්මන් ලෝකය තුළ ශීඝ්‍රයෙන් දියුණුවන කෘත්‍රිම බුද්ධිය (්ෂ) වැනි ක්‍ෂේත්‍රයන්ට ශිෂ්‍යයා අනුගත වීමට නම්, පාසල් මට්ටමේ සිටම මෙහි පදනම ගොඩනැඟීම අත්‍යවශ්‍ය වේ. එනම් සිසුනට නව තාක්ෂණික දැනුම ලබාදීම හරහා අනාගතයේ ඔවුන්ට අවැසි ජාත්‍යන්තර මට්ටමේ රැකියා අවස්ථා හිමිකර ගැනීමේ අවස්ථාවන්ද මේ හරහා හිමි වේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පැහැදිලිවම මතු කෙරුණු කාරණයක් නම්, “ඩිජිටල් සාක්ෂරතාවයයි“. එනම්, ශ්‍රී ලංකාවේ සිසුන්ට එම කාලය තුළදී අධ්‍යාපනය ලැබීමට සිදුවූයේ අන්තර්ජාලය ඔස්සේ දුරස්ථවය. එහෙයින් මෙවැනි කාලසමයක් තුළදී දුරස්ථ අධ්‍යාපන ක්‍රමයේ අවශ්‍යතාවයක් පැහැදිලිවම පෙනී ගිය කාරණයක් බවට පත්විය. අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලබාදීම, විද්‍යුත් සම්පත් භාවිතය සහ තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඉගෙනුම් ක්‍රියාවලිය වඩාත් ඵලදායි කිරීම මේ තුළින් අපේක්ෂා කෙරිණි. ග්‍රාමීය පාසල් වලට පවා අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබාදීම සහ ගුරුවරුන් පුහුණු කිරීම අනාගතයේදී වඩාත් ඵලදායිී අධ්‍යාපන පද්ධතියක් ගොඩනැංවීමට අත්‍යවශ්‍ය වේ.

කෙසේ වෙතත් ඉහත කී අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී අභියෝග රැසකට මුහුණ පෑමට සිදුවීම ද කනගාටුවට කරුණකි. මෙම නව අධ්‍යාපනික රටාව ශිෂ්‍ය ප්‍රජාව වෙත ලබාදීමට මූලික වශයෙන් මෙම විෂය නිර්දේශයන්ට අනුකූලව ගුරුවරුන් පුහුණු කිරීම අත්‍යවශ්‍ය වේ. තවද ඔවුන් නව ඉගැන්වීමේ ක්‍රමවේදයන්ට හුරු කිරීම සහ අවශ්‍ය සම්පත් ලබාදීමකින් තොරව මෙම ප්‍රතිසංස්කරණ වලට යාමට නොහැක. දෙවනුව පාසල් වලට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබා දීමත්, තෙවනුව සමාජයේ ඇතැම් පාර්ශ්වවලින් එල්ල විය හැකි ප්‍රතිරෝධයන් සහ සම්ප්‍රදායික චින්තනයන් ජය ගැනීමට ද මෙහිදී වැදගත් වේ.

ඉහත කී අභියෝගයන් සාර්ථකව ජයගතහොත්, නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ ඔස්සේ ශ්‍රී ලංකාවේ අනාගතය වඩාත් දීප්තිමත් කළ හැකි වේ. තවද, වඩාත් ප්‍රායෝගික මෙන්ම නව්‍යකරණයට නැඹුරු වූ, රැකියා වෙළෙඳපොළට ගැළපෙන පුරවැසියන් බිහිවීමෙන් රටේ ආර්ථිකයද ශක්තිමත් වනු ඇත. “ශ්‍රී ලංකාවේ අනාගතය රඳා පවතිනුයේ අපේ දරුවන්ට ලබා දෙන අනාගතයේ ගුණාත්මකභාවය මතය. නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ නිසි ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් දැනුමින් හා කුසලතාවලින් පරිපූර්ණ සමෘද්ධිමත් අනාගත පරපුරක් අප ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කළ හැකි බව නොඅනුමානය.

ශෂිනි ඩිලූෂා
ජනසන්නිවේදන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය

Search