ගෝඨාභය තවමත් ඇමරිකානු පුරවැසියෙක්

පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගෙන ඇතැයි ඔහුගේ අනුගාමිකයින් කියන කතා මුළුමනින්ම අසත්‍යක් බව ඇමරිකානු රාජ්‍ය ආයතනයක් විසින් නිකුත්කර ඇති ලේඛනයකින් අනාවරණය වේ.

ඒ අනුව, පසුගිය කාර්තුවෙහි ඇමරිකානු පුරවැසිභාවයෙන් ඉවත් කළ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධියට පත්කරමින් එක්සත් ජනපද මහා භාණ්ඩාගාරයේ අභ්‍යන්තර ආදායම් සේවය (IRS) විසින් සකස් කර ඇති වාර්තාවට ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුලත් නොවේ.

සෑම කාර්තුවක්ම අවසාන වී දින 30ක් ඇතුළත ෆෙඩරල් රෙජිස්ටර් වෙබ් අඩවියෙහි මෙම ලැයිස්තුව ප්‍රසිද්ධ කරනු ලැබේ.

පසුගිය ඉරිදා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත් කළ ගෝඨාභය රාජපක්ෂ 2019 අප්‍රේල් 17 වන දින එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීම සඳහා අවශ්‍ය සියලු ලිපි ලේඛන භාර දුන් බව වාර්තා විය. නමුත් ඇමරිකානු IRS විසින් 2019 අගෝස්තු 7 වන දින නිකුත් කරන ලද ලේඛනයේ ඇමෙරිකානු පුරවැසිභාවය අහිමි වූවන් අතර ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුලත් කර නොමැත.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීම සඳහා ශ්‍රී ලංකික පුරවැසියකු විය යුතුය. ද්විත්ව පුරවැසියන්ට ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට කිසිඳු ඉඩක් නොමැත. අද ප්‍රකාශයට පත්ව ඇති ඇමරිකානු රජයේ ලේඛනයට අනුව ගෝඨාභය රාජපක්ෂ මේවනවිටත් ඇමරිකානුවෙකි.

මෙම ලේඛනය ප්‍රකාශයට පත්වීමත් සමග අමාත්‍ය හර්ෂ ද සිල්වා නිකුත්කර ඇති ට්විටර් නිවේදනයක මෙසේ සඳහන් වේ.

''2019 ජුනි 30 වන විට පුරවැසිභාවය අහිමි වූ එක්සත් ජනපද පුරවැසියන්ගේ ලැයිස්තුවේ ගෝඨාභය මහතාගේ නම ඇතුළත් වී නැත. එසේ නම් ඔහු 2019 මැයි මාසයේදී ශ්‍රී ලංකා පුරවැසිභාවය පමණක් ලබාගත්තේ කෙසේද?'' ඇමතිවරයා එම ට්විටර් සටහන මගින් විමසා ඇත.

harsha2

Search