පොදු ප්රවාහන බස් රථ හා දුම්රියවලදී කාන්තාවන්ගෙන් 90%ක් ම ලිංගික හිංසනයට ලක් වන බව 2015දී එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වුණා.
සමීක්ෂණයට සහභාගි වූ අයගෙන් 97%ක් ම පැවසුවේ වරද කරන්නා පිරිමි බවයි. ඔවුන් අතරින් පැමිණිලි කිරීම වැනි ක්‍රියාමාර්ගයක් වෙත එළඹෙන්නේ 4%ක් තරම් සුළු පිරිසක් බව ද මෙම සමීක්ෂණයෙන් හෙළිදරව් විය. (Sexual Harassment on public trains and buses, UNFPA (2015).
අවාසනාවන්ත ලෙස, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වන ප්‍රචණ්ඩත්වය හා විශේෂයෙන් ම කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසනය සිදු වන ප්‍රධාන සමාජ ස්ථානයක් ලෙස පොදු ප්රවාහන බස් රථ හා දුම්රිය සැලකිය හැකි ය. එසේ සිදු වන සුලබ ක්‍රියා කීපයක් මෙසේ ය:
* බස් රථවල කොන්දොස්තරවරයා බස් රියට ගොඩවන කාන්තාවන් නො මනා පරිදි ස්පර්ශ කිරීම
* කොන්දොස්තරවරයා කාන්තාවන්ට නො මනා අන්දමින් ආමන්ත්‍රණය කිරීම. උදා: ආච්චි, ඇන්ටි, අක්කා, නංගි වැනි වචන භාවිතය, ඇඳ සිටින ඇඳුම ගැන සඳහන් කරමින් කතා කිරීම
* බස් රියෙන් නැගීම, බැසීම වැනි කටයුතු අනවශ්‍ය තරම් ඉක්මණින් කරන්නැයි කොන්දොස්තරවරයා හා රියදුරා බල කිරීම
* කාන්තාවන් අනාරක්ෂිත තත්වයට පත් වන ලෙස රිය පැදවීම (විශේෂයෙන් කාන්තාවන් බසයට ගොඩ වන හා බසින විට)
* නිසි තැන බසය නතර නො කිරීම
* කොන්දොස්තරවරයා කාන්තාවන්ට පහසු ලෙස සිට ගැනීමට ඉඩ නො දී බලෙන් ඉදිරියට, පසුපසට චලනය කරවීම
* කොන්දොස්තරවරයා ඉතිරි සල්ලි නො දී වංචා කිරීම
* බස් හා දුම්රිය මගීන් අතර සිටින ඇතැම් පිරිමි කාන්තාවන් නො මනා අන්දමින් ස්පර්ශ කිරීම
* කාන්තාවන් හා ඔවුන්ගේ අඟ පසඟ දෙස රාගික ලෙස බැලීම
* කාමුක ඉල්ලීම් කිරීම
* කණ්ඩායම් ලෙස කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට උසුළු – විසුළු කිරීම
* ගැබිනි මාතාවන්ට වෙන් කර ඇති ආසනය ඔවුන්ට නො දීම
* පිරිමි පූජක පක්ෂයට බස් රථවල ආසන වෙන් කර තිබුණත් කාන්තා පූජක පක්ෂයට එසේ ආසන ලබා නො දීම
* යුගල ආසනවල වාඩි වන පිරිමි පුද්ගලයන් ආසනයෙන් විශාල ප්‍රමාණයක් අත්පත් කර ගැනීම
* බස් රථවල කරදරකාරී ලෙස වාදනය කරන සංගීතය හා වීඩියෝ නතර කරන්නැයි ඉල්ලා සිටි විට එය ගණන් නො ගැනීම. කාන්තා විරෝධී ගීත වීඩියෝ ආදිය වාදනය කිරීම
* බස් රියවලට ඇතුල් වන, පිට වන විට හා ආසන ලබා ගැනීමේදී කාන්තාවන්ට ඉඩ නො දෙමින්, පිරිමින් ආක්‍රමණශීලී ලෙස ඉඩ ලබා ගැනීම
* බස් රියවල වෙළඳාම් කරන, සම්මාදම්, සිඟමන් යදින පුද්ගලයන් කාන්තාවන් අපහසුතාවට ලක් වන පරිදි කටයුතු කිරීම
* බස් රියවල ලියා හෝ කුරුටු ගා ඇති වැකි, ස්ටිකර් ආදියෙන් කාන්තාවන් අපහාසයට ලක් කිරීම
* අවසරයකින් තොරව ජංගම දුරකථනවලින් කාන්තාවන්ගේ ඡායාරූප ගැනීම හා වීඩියෝ කිරීම
* ස්ත්‍රී-පුරුෂ සමාජභාවය අනුව සිදු වන ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව කතා කරන කාන්තාවන් අවඥාවට ලක් කිරීම
පොදු ප්රවාහන සේවාවලදී ස්ත්‍රී-පුරුෂ සමාජභාවය අනුව ප්‍රචණ්ඩත්වය සිදු වන තවත් ආකාර ද තිබිය හැකි ය.
74%ක් දෙනා පොදු ප්රවාහන සේවාවලදී සිදු වන ලිංගික හිංසන පිළිබඳ පැමිණිලි කළ හැකි දුරකථන අංකයක් පිළිබඳ නො දන්නා බව ඉහත දක්වන ලද සමීක්ෂණයේදී පවසා තිබේ. මේ පිළිබඳව පසුගිය පෙබරවාරි මස පැවති පුවත්පත් සාකච්ඡාවකදී අදහස් දැක්වූ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා සහකාර පොලිස් අධිකාරි ලංකා රාජිනී අමරසේන පැවසුවේ පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංක 119ට මේ පිළිබඳව පැමිණිලි කළ හැකි බවයි. එහිදී බස් රථය ධාවන වන මාර්ගය හා බස් රථයේ අංකය නිවැරදිව දැනුම් දීමෙන් පොලිසියට පහසුවෙන් ක්‍රියාත්මක විය හැකි බව ද ඇය පවසනවා.
ඒ නිසා පොදු ප්‍රවාහනයේදී සිදු වන හිංසනයන්ට එරෙහි පැමිණිලි නොබියව 119ට කරන්න.
සුරක්ෂිත පොදු ප්‍රවාහනය කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට අතිශය වැදගත් ය. ලිංගික හිංසනයන්ට බිය නොවී පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කිරීමේ නිදහස ඔවුන්ට තිබිය යුතු ය. එසේ නොමැති නම් එය ඔවුන්ගේ අධ්‍යාපනයට, රැකියාවන්ට හා පෞද්ගලික ජීවිතවලට අහිතකර වේ. එහි ප්‍රතිඵලය මුළු රටට ම බලපායි. නිදසුනක් ලෙස, කාන්තාවන් ශ්‍රම බලකාය සමග සම්බන්ධ වීමට එය බාධාවකි. ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් ශ්‍රම බලකාය සමග සම්බන්ධ වන්නේ 34%ක් පමණි. එය කලාපයේ සෙසු රටවල් සමග සන්සන්දනය කළ විට සැලකිය යුතු අන්දමින් පහළ මට්ටමකි.
-ivoice.lk -
අජිත් පැරකුම් ජයසිංහ