ප්‍රංශයේ පැරිස් නුවර ලෝක ප්‍රකට ලූවර් කෞතුකාගාරයේ (Louvre Museum) ඉරිදා උදෑසන සිදු වූ කොල්ලයකින් නැපෝලියන් අධිරාජයාට සහ ඔහුගේ බිසෝවරුන්ට අයත්ව තිබූ "මිල කළ නොහැකි" ආභරණ තොගයක් සොරකම් කර තිබේ. 2024 වසරේ පමණක් මිලියන 8.7 ක නරඹන්නන් පිරිසක් පැමිණි ලොව වැඩිම පිරිසක් නරඹන මෙම කෞතුකාගාරය, නූතන ප්‍රංශ ඉතිහාසයේ සිදු වූ දැවැන්තම සොරකම ලෙස සැලකෙන මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා වසා දමන ලදී.
මුහුණු ආවරණය කරගත් සොරුන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සොරකම සඳහා පැමිණ ඇත. ඔවුන් උදෑසන 9.30 ට පමණ කෞතුකාගාරයේ සේන් ගඟට මුහුණලා ඇති පැත්තෙන්, අලුත්වැඩියා කටයුත්තක් සඳහා යොදාගෙන තිබූ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණයක (චෙරි පිකර්) ආධාරයෙන් පළමු මහලේ පිහිටි ඇපලෝ ගැලරිය වෙත සෘජුවම ප්‍රවේශ වී තිබේ. සංස්කෘතික අමාත්‍යවරිය සඳහන් කළේ, සොරුවන් "සන්සුන්ව" ඇතුළු වී ආභරණ තැන්පත් කර තිබූ වීදුරු ප්‍රදර්ශන කුටි කඩා දමන අයුරු නිරීක්ෂණ කැමරාවල සටහන්ව ඇති බවයි.
අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මෙය "ඉතා සංවිධානාත්මක මෙහෙයුමක්" ලෙස හැඳින්වූ අතර, ඔවුන් වීදුරු කපා ඉවත් කිරීම සඳහා ඩිස්ක් කටර් යන්ත්‍රයක් ද භාවිතා කර ඇත.
මෙම සිදුවීමත් සමඟ කෞතුකාගාරය නරඹන්නන්ගෙන් වහාම ඉවත් කිරීමට ආරක්ෂක නිලධාරීන් පියවර ගත්හ. ජනෙල් දෙසින් "තැලීමේ ශබ්දයක්" ඇසුණු බවත්, ඉන් අනතුරුව වහාම ඉවත් වන ලෙස ආරක්ෂකයින් කෑගසනු ඇසුණු බවත් සංචාරක මග පෙන්වන්නෙකු මාධ්‍ය වෙත පවසා තිබුණි. ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් 'X' සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් කියා සිටියේ මෙය ඉතිහාසයට එල්ල කළ ප්‍රහාරයක් බවත්, සොරකම් කළ කෘති නැවත සොයාගෙන අපරාධකරුවන්ට දඬුවම් දෙන බවත්ය. සංස්කෘතික සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරුන් ද සිද්ධියෙන් පැය කිහිපයක් ඇතුළත අපරාධ ස්ථානයට පැමිණියහ.
සම්පූර්ණ සොරකම මිනිත්තු කිහිපයක් ඇතුළත අවසන් කර ඇති අතර, සොරකරුවන් සිව්දෙනා බලවත් 560cc එන්ජින් සහිත 'Yamaha TMax' වර්ගයේ ස්කූටර් දෙකක නැගී අසල අධිවේගී මාර්ගයක් දෙසට පලා ගොස් ඇති බව වාර්තා වේ. පොලිසිය ඔවුන් පලා ගිය මාර්ගය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් පරීක්ෂණ පවත්වයි. සොරකරුවන් භාවිත කළ ඉසිලීමේ යන්ත්‍රය ඉදිකිරීම් සඳහා ගෙන ආ එකක් ද, නැතහොත් ඔවුන් විසින්ම ගෙන එන ලද්දක් ද යන්න පිළිබඳව ද විමර්ශකයෝ අවධානය යොමු කරති.
ප්‍රංශ විප්ලවයෙන් පසු ඉතිරිව ඇති ප්‍රංශ රාජකීය ආභරණ තැන්පත් කර ඇති ඇපලෝ ගැලරියෙන් භාණ්ඩ නවයක් පමණ සොරකම් කර ඇති බවට දේශීය මාධ්‍ය වාර්තා කරයි. මේවා නැපෝලියන්, තුන්වන නැපෝලියන් සහ ඔවුන්ගේ බිසෝවරුන් වූ මාරි-ලුවීස් සහ ඉයුජීනි සතුව තිබූ ඒවාය. කෙසේ වෙතත්, ඉයුජීනි අධිරාජිනියගේ ඔටුන්න කෞතුකාගාරයෙන් පිටත හානි වූ තත්ත්වයෙන් දමා ගොස් තිබියදී පසුව සොයා ගැනිණි. වෙන්දේසි ආයතනයක සභාපතිවරයෙකු ප්‍රකාශ කළේ එම ඔටුන්න පමණක් යුරෝ මිලියන දස දහස් ගණනක් වටිනා බවත්, එය සොරකම් කළ වැදගත්ම භාණ්ඩය නොවන බවත්ය. එමෙන්ම මෙම ආභරණ "කිසිසේත්ම අලෙවි කළ නොහැකි" බවද ඔහු අවධාරණය කළේය.
මෑත මාසවලදී ලූවර් කෞතුකාගාරය කාර්ය මණ්ඩල ගැටලු කිහිපයකටම මුහුණ දී තිබුණි. අධික සංචාරක පැමිණීම සහ තදබදය හේතුවෙන් කාර්ය මණ්ඩල වර්ජන ද පසුගිය ගිම්හානයේදී වාර්තා විය. අමුත්තන්, පිවිසුම් සහ පිටවීමේ දොරටු සංඛ්‍යාවට සරිලන තරම් කාර්ය මණ්ඩලයක් නොමැති වීම දැඩි පීඩනයක් බවට වෘත්තීය සමිති ජූනි මාසයේදී පෙන්වා දී තිබුණි. කෙසේ වෙතත්, මෙම කාර්ය මණ්ඩල හිඟය මෙම සොරකමට දායක වූයේ ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.
ලූවර් කෞතුකාගාරය මහා පරිමාණ සොරකම්වලට ලක් වූ පළමු අවස්ථාව මෙය නොවේ. 1911 දී සුප්‍රකට 'මොනාලිසා' සිතුවම සොරකම් කරන ලද්දේ එහි හිටපු සේවකයෙකු විසිනි. එමෙන්ම 1976 දී දසවන චාල්ස් රජුගේ දියමන්ති ඔබ්බවන ලද කඩුව සොරකම් කරන ලද අතර, එය අද දක්වාම සොයාගෙන නොමැත.