ඇමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට පැනවූ 30%ක තීරුබද්දට එරෙහිව ශ්‍රී ලංකාව ඇමෙරිකාවෙන් ගෙන්වා ගන්නා භාණ්ඩ සඳහා තීරු බදු වැඩි කිරීමක් කරන්නේ නම් තමන් පැනවූ බද්ද තවදුරටත් ඒ හා සමානව වැඩි කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත අවධාරණය කර ඇත.
එක්සත් ජනපදයට එරෙහිව වෙළෙඳ හිඟයන් ඇති කරන ශ්‍රී ලංකාවේ තීරුබදු සහ තීරුබදු නොවන ප්‍රතිපත්ති සහ වෙළෙඳ බාධක ඇති බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මෙම බදු පිළිබඳව දන්වා එවූ ලිපියේ සඳහන් කර ඇත.
ඒ අනුව, මෙම තීරුබදු නිවැරදි කිරිමට අවශ්‍ය බව කරුණාකර තේරුම් ගන්නා ලෙසත් වෙළෙඳපොළ හිඟය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට ප්‍රධාන තර්ජනයක් බවත් ට්‍රම්ප් ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත එවූ ලිපියේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.
‘අපගේ වෙළෙඳ සම්බන්ධතාවයේ ශක්තිය හා කැපවීම පෙන්නුම් කරන මෙම ලිපිය ඔබට එවීමට ලැබීම මට මහත් ගෞරවයක්.
ඔබේ ශ්‍රේෂ්ඨ රට සමග සැලකිය යුතු වෙළෙඳ හිඟයක් තිබියදීත් අප ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග දිගට ම වැඩ කිරීමට එකඟ වී තිබෙනවා.
කෙසේ වෙතත්, අපි ඔබ සමග ඉදිරියට යන්නට තීරණය කර තිබෙනවා.
නමුත් වඩාත් සමබර හා සාධාරණ වෙළෙඳාම සමඟ පමණයි.
එබැවින් ලෝකයේ අංක එකේ වෙළෙඳපොළ වන එක්සත් ජනපදයේ ආර්ථිකයට සහභාගී වන ලෙස ඔබට ආරාධනා කරනවා.
ශ්‍රී ලංකාව සමග අපගේ වෙළෙඳ සම්බන්ධතාව සාකච්ඡා කිරීමට අපට වසර ගණනාවක් ගත වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ තීරුබදු සහ තීරුබදු නොවන ප්‍රතිපත්ති සහ වෙළෙඳ බාධකවලින් ජනනය කර තිබෙන මෙම දිගුකාලීන හා ඉතා නොනැසී පවතින වෙළෙඳ හිඟයෙන් අප ඉවත් විය යුතු බව නිගමනය කර තිබෙනවා.
අවාසනාවකට වගේ අපගේ සම්බන්ධතාව අන්‍යොන්‍ය වශයෙන් බොහෝ දුරස් වෙලා.
2025 අගෝස්තු 1 වන දා සිට, සියලුම ආංශික තීරුබදුවලින් වෙන්ව, එක්සත් ජනපදයට යවන ඕනෑම සහ සියලු ම ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා අපි ශ්‍රී ලංකාවෙන් සියයට 30ක තීරුබදු අය කරනවා.
ඉහළ තීරුබදු මඟහැරීම සඳහා නැව්ගත කරන ලද භාණ්ඩ එම ඉහළ තීරුබදුවලට යටත් වෙනවා.
කරුණාකර තේරුම් ගන්න, 30%ක බද්ද ඔබේ රට සමග අපට ඇති වෙළෙඳ හිඟයේ විෂමතාව ඉවත් කිරීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා ගොඩක් අඩුයි.
ශ්‍රී ලංකාව හෝ ඔබේ රට තුළ සිටින සමාගම් එක්සත් ජනපදය තුළ නිෂ්පාදනයක් ගොඩනැඟීමට හෝ නිෂ්පාදනය කිරීමට තීරණය කළහොත් කිසිදු තීරු බද්දක් නෑ.
කිසියම් හේතුවක් නිසා ඔබ ඔබේ තීරුබදු වැඩි කිරීමට තීරණය කරන්නේ නම්, ඔබ ඒවා වැඩි කිරීමට තෝරා ගන්නා සංඛ්‍යාව කුමක් වුවත්, අප අය කරන 30%ට එකතු කරනු ලබනවා.
එක්සත් ජනපදයට එරෙහිව මෙම තිරසර නොවන වෙළෙඳ හිඟයන් ඇති කරන ශ්‍රී ලංකාවේ තීරුබදු සහ තීරුබදු නොවන ප්‍රතිපත්ති සහ වෙළෙඳ බාධක වසර ගණනාවක් නිවැරැදි කිරීමට මෙම තීරුබදු අවශ්‍ය බව කරුණාකර තේරුම් ගන්න. මෙම හිඟය අපගේ ආර්ථිකයට සහ ඇත්ත වශයෙන්ම අපගේ ජාතික ආරක්ෂාවට ප්‍රධාන තර්ජනයක්.