කොළඹ කොටස් අද විශාල පල්ලමකට.. පොලි අනුපාත වැඩි කලොත් කොළඹ කොටස් හාන්සියි...

කොළඹ කොටස් අද විශාල පල්ලමකට.. පොලි අනුපාත වැඩි කලොත් කොළඹ කොටස් හාන්සියි...


 ඇමරිකානු ඩොලරයේ අගය කැපී පෙනෙන ලෙස ඉහළ යාම ඇතුළු සාර්ව ආර්ථික සාධක කිහිපයක් හේතුවෙන්, ඉදිරි දින කිහිපය ඇතුළත දේශීය මූල්‍ය වෙළඳපොළේ පොලී අනුපාතයන් ඉහළ නැංවීමට රජය සහ මහ බැංකුව පියවර ගනු ඇතැයි මූල්‍ය වෙළඳපොළ නිරීක්ෂකයෝ පුරෝකථනය කරති.

වෙළඳපොළේ පවතින උද්ධමන පීඩනය පාලනය කිරීම සහ රුපියලේ අගය ස්ථාවර කර ගැනීම සඳහා මෙලෙස දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මූල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ පොලී අනුපාත ඉහළ දැමීම හරහා වාණිජ බැංකු පද්ධතිය වෙත නැවතත් ස්ථාවර තැන්පතු ආකර්ෂණය කර ගැනීම රජයේ මූලික අරමුණක් විය හැකි බවයි.

වෙළඳපොළේ සංසරණය වන ද්‍රවශීලතාව සීමා කිරීම මඟින් පරිභෝජන ඉල්ලුම පාලනය කිරීමට මෙයින් ඉඩ ප්‍රස්ථාව ලැබෙනු ඇත.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය කොළඹ කොටස් වෙළඳපොළේ ඉදිරි ගමනට අහිතකර බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ අනතුරු අඟවති.

පොලී අනුපාත ඉහළ යන විට, අවදානමකින් තොර ස්ථාවර තැන්පතු සහ රාජ්‍ය සුරකුම්පත් කෙරෙහි ආයෝජකයන් වැඩි නැඹුරුවක් දැක්වීම සාමාන්‍ය තාක්ෂණික ප්‍රවණතාවකි.

ඒ අනුව, මේ වන විට කොටස් වෙළඳපොළේ ඉහළ අවදානමක් සහිත සාමාන්‍ය කොටස් වල ආයෝජනය කර ඇති දේශීය මූල්‍ය ආයතන සහ සිල්ලර ආයෝජකයන් වහා තම අරමුදල් ඉවත් කරගෙන, වඩාත් සුරක්ෂිත බැංකු පද්ධතියේ යළි ආයෝජනය කිරීමට පෙළඹෙනු ඇත.

මේ අතර කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක අද (20) දිනය පුරාම කැපී පෙනෙන පහත වැටීමක් පෙන්නුම් කළ අතර, දිනයේ ගනුදෙනු නිමාවන විට සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 441.87 කින් පහත වැටී තිබේ.

සමස්ත කොටස් මිල දර්ශකය ඊයේ දිනයට සාපේක්ෂව සියයට 1.98 ක ප්‍රබල පහත වැටීමක් පෙන්වමින් ඒකක 21,856.20 ක් ලෙස සටහන් විය.

S&P ශ්‍රී ලංකා 20 දර්ශකය (S&P SL20) මෙරට ප්‍රමුඛතම සමාගම් 20 නියෝජනය කරන මෙම දර්ශකය ද සියයට 1.57 කින් (ඒකක 96.38 කින්) පහළ බැස ඒකක 6,052.39 ක් දක්වා පහත වැටුණි.

මිල දර්ශක පහත වැටුණ ද අද දිනයේ වෙළඳපොළ තුළ ඉහළ ගනුදෙනු ප්‍රමාණයක් සිදු වූ අතර, දෛනික සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 3.8 ක් (රුපියල් 3,803,300,864.60) ලෙස සටහන් විය.

දිනය තුළ කොටස් මිලියන 175.6 කට අධික ප්‍රමාණයක් හුවමාරු වී ඇති අතර, සිදුකර ඇති සමස්ත ගනුදෙනු සංඛ්‍යාව 41,001 කි

Search