රජය විසින් විදුලි ගාස්තු 18%කින් ඉහළ නැංවීමට ගත් තීරණය, දූෂිත බාල ගල්අඟුරු ජාවාරමෙන් සිදුවූ අලාභය මෙරට විදුලි පාරිභෝගිකයින්ගේ කරපිට පැටවීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා අවධාරණය කළේ, මෙම ගාස්තු වැඩි කිරීම රජය විසින් මෙරට ව්‍යාපාරිකයන් සහ කර්මාන්තකරුවන්ගෙන් ලබාගන්නා “කප්පමක්” බඳු බවයි.
මෙම අර්බුදයේ මූලාරම්භය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මෙසේ සඳහන් කළේය.
“බාල ගල්අඟුරු ගේනවා කියලා අපි මුල ඉඳලම කිව්වා. මුලින් රජය ඒක ප්‍රතික්ෂේප කළා. පස්සේ කිව්වා ගල්අඟුරු බාලයි, හැබැයි වංචාවක් නෑ කියලා. මේ බාල ගල්අඟුරු ගෙන්වීම නිසා රජයට සිද්ධ වුණා ඉන්ධන මගින් විදුලිය ජනනය කරන්න. ඒ නිසා නිෂ්පාදන පිරිවැය අධික ලෙස ඉහළ ගියා. අන්න ඒ දූෂිත ජාවාරමේ වන්දිය තමයි අද පාරිභෝගිකයාට ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ.”
විශේෂයෙන්ම ඒකක 180ට වඩා පරිභෝජනය කරන ඉහළ මධ්‍යම පන්තිය, ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් මෙම නව ගාස්තු වැඩි කිරීම නිසා දැඩි පීඩාවකට පත්වන බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
රටේ ආර්ථිකයට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මෙමගින් එල්ල වන බලපෑම සුළුපටු නොවන බව ද ඔහු සඳහන් කළේය.
බාල ගල්අඟුරු ජාවාරමේ බර ජනතාව මත පටවන්න එපා යැයි විපක්ෂය දිගින් දිගටම කළ ඉල්ලීම් නොතකා, මහජන උපයෝගීතා කොමිසම සහ රජය එක්ව මෙම 18%ක ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද විපක්ෂ නායකවරයා එහිදී සිය දැඩි විරෝධය පළ කළේය