ඇමරිකාව වියරු වැටී ඇත්තේ බහු කේන්ද්‍රීය ලෝකයක ඩොලරය වෙනුවට “යුවානය හා රූබලය” ශක්තිමත් වන පසුබිමකයි..
අද තියෙන්නේ යුද්ධෙ පාවිච්චි කරලා සුද්දෙ හොඳටම කරන ආණ්ඩුවක්.. ආවේ නම් සුද්දෙ නැති කරන්න
අපේ රටට බලපෑ යුධ සමයන්හිදී ඉරානය නිරතුරුව මිතුරෙකු ලෙස අපි පසුපස රැඳී සිටිමින් අපේ රටට ජවය දුන්නා සේ, ශ්‍රී ලංකාව මේ අසීරු යුද්ධයේදී පැරණි මිතුරාට ශක්තිය දෙමින් ඉරානය පසුපස සිටගත යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.
ඇමරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට පහර දෙද්දී ඉරානය සවිමත්ව ඊට මුහුණ දෙන්නේ තනි වූ ඉරානයක් ලෙස නොව, චීනයේ රුසියාව ආදී මිත්‍ර රටවල්ද ප්‍රමුඛ මිත්‍රත්ව සහයෝගිතා බලවේගයක් යටතේ බව විමල් විරවංශ පවසයි.
ඉරානයට පහර දෙන අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයා අද වියරු වැටී ඇත්තේ මෙතෙක් කලක් ඔවුන්ට අවනතව තිබූ ඒක කේන්ද්‍රීය ලෝකය යුද්ධයත් සමගම අද බහු කේන්ද්‍රීය ලෝකයක් බවට පරිවර්තනය වෙමින් “පෙට්‍රෝල් ඩොලරය” වෙනුවට පෙට්‍රෝල යුවානය හෝ පෙට්‍රෝල රූබලය ටිකෙන් ටික බලගතු වෙමින් පවතින පසුබිමක බව ඔහු පෙන්වා දුන්නේය..

විමල් වීරවංශ මෙසේ අදහස් දක්වනු ලැබුවේ 19 වැනිදා කොළඹ පදනම් ආයතනයේදී "ලේ සහ කඳුළු ඇතුලත කතාව" යන තේමාව යටතේ පැවති සම්මන්ත්‍රණයක ප්‍රධාන දේශකයා ලෙස සහභාගි වෙමිනි.
එහිදී මොහාන් සමරනායක ගේ ආරම්භක දේශනයෙන් පසු විමල් වීරවංශ ගේ ප්‍රධාන දේශනය සිදු විය.
ඉරාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයා, චීන තානාපති කාර්යාලයේ දේශපාලනාංශ ප්‍රධානී ඇතුළු විදේශ තානාපති නිලධාරීන්, සහෝදර දේශපාලන පක්ෂ නියෝජිතයන් හා සමාජ ක්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඉරානය ශ්‍රී ලංකාවේ ඉතා ගැඹුරු මිත්‍ර රාජ්‍යයක් බවත්, ජෙනරාල් කොබ්බෑකඩුව වැනි නායකයින් උතුරේ යුධ කටයුතු මෙහෙයවන කාලයේදී අසීරු අවස්ථාවල අප රටට උණ්ඩ හා උපකරණ ලබාදුන් බවත්, ජාත්‍යන්තරයේදී රුසියාව හා චීනය සමග එක්ව ශ්‍රී ලංකාවේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාව රැකගැනීමට සහය අනුපමේය සහායක් දුන් බවත් වීරවංශ මෙහිදී සිහිපත් කළේය.
උමා ඔය ව්‍යාපෘතිය, බියගම තෙල් පිරිපහදුව ඇතුළු බොහෝ ව්‍යාපෘති ඉරානයෙන් ලැබුණු දේ ලෙස ඔහු උදාහරණ දුන් අතර, එම මිත්‍රත්වය ඓතිහාසික හා භාවිතාමය ලෙස ඔප්පු වී ඇති බව අවධාරණය කළේය.

''කලාපයේ ආරක්ෂාව ගැන කතාකරන්න දැන් මේ වෙනකොට ලංකාවට ඇවිල්ලා තියෙනවා 'ගෝර්' කියලා ඇමෙරිකානු විශේෂ නියෝජිතයෙක්''
"දැන් මේ ආණ්ඩුව මේ කලාපයේ ආරක්ෂාවත් අවධානමට ලක් කරමින් ඉන්නවා. කලාපයේ ආරක්ෂාව ගැන කතාකරන්න දැන් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා “ගෝර්” කියලා ඇමෙරිකානු විශේෂ නියෝජිතයෙක් ලංකාවටයි මාළදිවයිනටයි දෙකටම නියෝජිතය යනවා දවස් හතරක්. ප්‍රධාන වශයෙන් මේගොල්ලෝ බලන්නේ ලංකාවේ වරායවල් සහ ගුවන් තොටුපළවල් ඒවා වර්ධනය කළ යුතු ආකාරය. දැන් අපිට ඔය චොපර් වගයක් දෙනවානේ හෙලිකොප්ටර් වගයක්. දැන් අපිට හිතෙන්නේ හරි ෂෝක් අපිට හරි ආදරයට දෙනවා කියලා. මේ අපට ආදරයට නෙවෙයි."
මෙම යුද්ධය සදාචාරාත්මක පදනමක් නොමැති අසාධාරණ ආක්‍රමණයක් බවත්, එය ඇමෙරිකානු තනි බල අධිකාරීත්වය (unipolar hegemony) අහිමි වීමේ වේදනාවෙන් හා බියෙන් ඇති වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඇමෙරිකානු ජනතාවගෙන් පවා මෙයට සහයෝගය අඩු බවත්, ඊශ්‍රායල්-සියොන්වාදී ලොබියේ බලපෑම ගැනත් (Epstein සිද්ධිය ඇතුළු චෝදනා උපුටා දක්වමින්) දැඩිව විවේචනය කළේය. ඔහු මෙය "සදාචාරාත්මක දවටනයක් නැති" යුද්ධයක් ලෙස හඳුන්වා, එය ලෝකයේ බහුකේන්ද්‍රීය බලයක් ගොඩනැගීමේ සටනක් බවත් පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව හා ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කළ ඔහු, BRICS හා SCO සමුළුවලට සහභාගී නොවීම, ඉරාන නැව් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම හා චීන සාගර ගවේෂණ යාත්‍රා සඳහා සම්මත මෙහෙයුම් පටිපාටිය (SOP) ඉන්දියාවට භාරදීම ගැන විශේෂයෙන් සඳහන් කළේය. ඉරාන නැව් සම්බන්ධයෙන් ඇමෙරිකානු බලපෑමට යටත් වීම, එය රටේ ස්වාධීනත්වයට හා ආරක්ෂාවට තර්ජනයක් බවත් ඔහු කියා සිටියේය. එසේම ඇමෙරිකාව සමග ACSA, SOFA වැනි ගිවිසුම් හරහා රට මිලිටරි තිප්පොළයක් බවට පත්කිරීමේ උත්සාහයන් ගැනත් ඔහු අවධානය යොමු කළේය.
ඉරානය මේ සටන කරන්නේ බහුකේන්ද්‍රීය ලෝකයක් ගොඩනැගීම සඳහා බවත්, එය ඩොලර් ආධිපත්‍යය බිඳ දැමීමේ සටනක් බවත් ඔහු ප්‍රකාශ කළේය. එබැවින් ඉරාන ජනතාවගේ සටන ශ්‍රී ලංකාවේ සටනක් බවත්, ඔවුන්ගේ ජයග්‍රහණය ලෝක සාමයට, සංවර්ධනයට හා මනුෂ්‍යත්වයට හිතකර බවත් අවධාරණය කළේය. ඔහු සමාජ මාධ්‍යවල තමන්ගේ ඉරාන සහයෝගය පිළිබඳ පළකිරීම්වලට ලැබුණු විවේචන ගැනත් සඳහන් කරමින්, එවැනි අනුකම්පාව නොමැති මනස බෞද්ධ සංස්කෘතියට ගැලපෙන්නේ නැති බවත් පෙන්වා දුන්නේය.
අවසානයේදී ඔහු ඉරාන ජනතාවට විජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින්, බහුද්‍රවීය ලෝකයක් උදාවන දිනය නුදුරේ දැකගැනීමට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කළේය.


theleader,lk