බාල ගල්අඟුරු හේතුවෙන් සිදුවන පාඩුව ජනතාව මත පැටවීම අනීතික ක්‍රියාවක් බව ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු පවසයි.
2026 වර්ෂයේ දෙවන විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් වාචික මහජන අදහස් ලබාගැනීමේ කොළඹදී පැවැත්වෙන අවසන් සැසියට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී ලංකා වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
"දැනට අවම විදුලිය භාවිත කරන දුප්පත්ම කෙනාගේ විදුලි බිලේ මිල වෙනස්වීම සියයට 1375ක් විතර වෙනවා. උපරිම පාරිභෝගිකයා හෝ යුනිට් 1000ක් භාවිත කරන කෙනාගේ..එයා දැනට 56,000ක් ගෙවන එක 18,876කට අඩු වෙනවා. ඉතින් මම හිතන්නේ නැහැ මේක සාධාරණ ක්‍රමවේදයක් කියලා. මේ සියල්ල හැදුවේ එක පුද්ගලයෙක්ගේ අවශ්‍යතාවයට. එසේ නොවිය යුතුයි."
2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳ මහජන අදහස් විමසීම පෙබරවාරි මස 25 වැනිදා ආරම්භ කෙරුණි.
ඒ අනුව වාචිකව මෙන්ම ලිඛිතවද මහජන අදහස් ලබා ගැනුණු අතර එහි බස්නාහිර පළාත් මහජන අදහස් විමසීමේ වැඩසටහන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මෙලෙස පැවැත්වුණි.
මෙය මහජන අදහස් විමසීමේ අවසන් සැසිය වෙයි.