ඉරාන නෞකාවලට අදාලව රජය ගනු ලැබූ තීරණය කරු ජයසුරියගේ පැසසුමට

ඉරාන නෞකාවලට අදාලව රජය ගනු ලැබූ තීරණය කරු ජයසුරියගේ පැසසුමට

ශ්‍රී ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේ දී ප්‍රහාරයට ලක්ව ඇති ඉරානයට අයත් එක් නෞකාවක සිටි තුවාල ලත් පුද්ගලයින් මුදවාගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සහ ඉරානයට ම අයත් තවත්

එක් නෞකාවක සිටි නාවිකයින් ද ඇතුළු සියලු ම දෙනා ශ්‍රී ලංකාව තුළට කැඳවා අවශ්‍ය ආරක්ෂාව ලබා දිමට ශ්‍රී ලංකාව ගත් පියවර පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ප්‍රසාදය පළ කරන අතර ම එය මහත් සේ අගය කරනන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

එම ව්‍යාපාරය මේ බව සඳහන් කරන් එහි සභාපති කරූ ජයසූරිය ගේ අත්සනින් යුත් නිවේදනයක් නිකුත් කරමිනි.

මතු පළ වන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය යි.

මානුෂිකත්වය පෙරදැරිව ඉරාන නාවිකයන්ට අදාලව රජය ගනු ලැබූ තීරණය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අගය කරන්නෙමු.

ශ්‍රි ලංකාවට ඔබ්බෙන් වූ මුහුදේ දී ප්‍රහාරයට ලක්ව ඇති ඉරානයට අයත් එක් නෞකාවක සිටි තුවාල ලත් පුද්ගලයින් මුදවාගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සහ ඉරානයට ම අයත් තවත් එක් නෞකාවක සිටි නාවිකයන්ද ඇතුළු සියළුම දෙනා ශ්‍රී ලංකාව තුළට කැඳවා අවශ්‍ය ආරක්ෂාව ලබා දිමට ශ්‍රී ලංකාව ගත් පියවර මහත් සේ අගය කරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඒ පිළිබඳව ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා වෙත අපගේ ප්‍රසාදය පළ කරන්නෙමු.

රටක් වශයෙන් අප එහි දි ප්‍රදර්ශනය කර ඇත්තේ මානුෂිකත්වය පෙරටු කරගත් ශිෂ්ට සම්පන්න රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා පිළිවෙතකි. එමෙන් ම ජාත්‍යන්තර වශයෙන් හට ගන්නා ඕනෑම ගැටුමක දි ශ්‍රී ලංකාවේ භූමිය, මුහුදු කලාපය හෝ ගුවන් කලාපය ගැටුම්වල පාර්ශ්වකරුවන් වන කවර හෝ රාජ්‍යයකට පක්ෂපාති ආකාරයට හෝ පීඩාවන් ගෙන දෙන ආකාරයට කටයුතු කිරීමට ඉඩක් නොදීමට රාජ්‍යයක් ලෙස ගෙන ඇති ස්ථාවරය ද අපි අගය කරන්නෙමු.



නොබැඳි පිළිවෙත තුළ දීර්ඝ කාලයක් කටයුතු කර ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව ගෙන ඇති ස්ථාවරය අපගේ ඉතිහාසයට අනුව ද, සදාචාරාත්මක දේශපාලන වටිනාකම්වලට ද සපුරාම අනුගත වූවකි.

ගෝලිය වශයෙන් මානව සමාජය මහත් ආතතියකට පත්ව ඇති මෙවන් අවස්ථාවක ශ්‍රී ලංකාව ගත් මෙම පියවර සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නැවතත නැවතත් අගය කරන අතර ඉන්දියන් සාගරය සාම කලාපයක් කරගැනීම සඳහා ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ යෝජනාව පරිදි දීර්ඝ කාලීන ශ්‍රි ලාංකීය අපේක්ෂාව සාක්ෂාත් කරගැනීම සඳහා කලාපයේ අනෙකුත් රටවල් සමඟ ද සාමුහිකව පෙනී සිටිමේ අවශ්‍යතාවය කෙරෙහි ද ගරු ජනාධිපතිතුමාගේත්, රජයේත් අවධානය යොමු වනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.

ශ්‍රී ලංකාභිමාන්‍ය කරු ජයසුරිය
2026.03.06

Search