සමගි ජන බලවේගය සඳහා නව ප්‍රධාන ආසන සංවිධායකවරුන් තිස් දෙනකු ළඟදීම පත් කිරීමට කටයුතු කරන බවත් ඔවුන් සම්බන්ධයෙන් අදාල සම්මුඛ පරීක්ෂණ පසුගිය දිනවල සිදුකළ බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායකය, හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක ප්‍රකාශ කරනවා.
විශාල පිරිසක් අයදුම් පත් ඉදිරිපත් කර තිබූ අතර ඉන් හොඳම තිස්දෙනකු තෝරාගෙන මෙම පත්කිරීම් ඉදිරියේදී සිදුකිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කරනවා.
රටේ පොදු මහ ජනතාව වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකරන ජනතා සේවය සිදුකිරීමට උපරිම හැකියාව සහ සුදුසුකම් තිබෙන ආසන සංවිධායකවරුන් පත් කරන ලෙසට විපක්ෂ නායක , සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස ලබා දී ඇති උපදෙස් අනුව මෙම පත්කිරීම් ඉදිරියේදී සිදුකරන බවයි තිස්ස අත්තනායක ප්‍රකාශ කළේ.
සමගි ජන බලවේගයේ සංවිධාන ජාලය රට පුරා ක්‍රියාත්මක කර ඇති බවත් එය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව වසර මුලදී වැඩසටහන් කිහිපයක්ම සැලසුම් කර ඇති බවත් ඒ සඳහා පක්ෂයේ කළමනාකරණ කමිටුවේ අනුමැතිය ද පසුගියදා හිමිවූ බවද තිස්ස අත්තනායකයා විසින් පෙන්වා දෙනු ලැබුවා.
ඉදිරි පළාත් සභා මැතිවරණයට පෙර පක්ෂයේ දෙවෙනි පෙළ ශක්තිමත් කිරීමටත් ඒ සඳහාද සැලසුම් කිහිපයක් ම ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි මෙම දෙවන පෙළ ක්‍රියාකාරිත්වය පක්ෂයට එක් කිරීමේ වැඩසටහන් රටපුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද තිස්ස අත්තනායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.