පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් ගේ නඩුව ලබන මස 03 වන දා

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් ගේ නඩුව ලබන මස 03 වන දා

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද CA (Writ) 109/2026 අංක දරන “රිට්” පෙත්සම පිළිබඳ පළමු විමසුම මාර්තු මස තුන්වෙනි දින  අභියාචනාධිකරණයේ දී සිදුකිරීමට නියමිත ය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ විනිසුරු කේ. පී. ප්‍රනාන්දු යන අය ඉදිරියේ මෙම නඩුව සලකා බැලීමට නියමිත ය.

 

රීට් පෙත්සම ගොනු කළේ ඇයි...?

චමින්ද කුලරත්න මෙම නඩුව ගොනු කර ඇත්තේ පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් තමා සම්බන්ධයෙන් ඇති කරගන්නා ලද ද්වේශ සහගතභාව හේතුවෙන් නීතිවිරෝධී ආකාරයෙන් පත්කරන ලද පරීක්ෂණ නිලධාරියෙකු ගෙන් සාවාද්‍ය තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබාගෙන එකී වාර්තාවේ කරුණු මත පදනම්ව පරිපාලන නීතියේ හා ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි ආකාරයෙන් තමන් අනීතික ලෙස වැඩ තහනමට ලක් කරන ලද බව සඳහන් කරමිනි.

පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා ගේ බලය තමා වෙත පවරාගෙන කථානායකවරයා විසින් පත්කරන ලද විමර්ශන නිලධාරියා ගේ පත්වීම හා එකී විමර්ශන නිලධාරියා විසින් කථානායකවරයා ගේ පෞද්ගලික අවශ්‍යතාවය මත ඉදිරිපත් කර ඇති සාවද්‍ය වාර්තාව බලරහිත කරන ලෙසත්, ඒ අනුව නීතිවිරෝධී ආකාරයෙන් සිදුකරන ලද තම වැඩ තහනම ඉවත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසත්,  චමින්ද කුලරත්න එකී නඩුව මඟින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත.

 

චමීර ගාල්ලගේට විරුද්ධව දූෂණ චෝදනා

මීට අමතරව, වැඩතහනමට ලක්කරන ලද නියෝජ්‍ය මහ ලේකම්වරයා විසින් 2026 පෙබරවාරි 02 වන දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ යන අය විසින් සිදුකරනු ලබනවා යැයි කියන දූෂණ ක්‍රියා 08ක් සම්බන්ධයෙන් පිටු 07කින් යුත් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත. එසේම, චමින්ද කුලරත්න විසින් අල්ලස් කොමිසම හමුවේ කරන ලද පැමිණිල්ලෙන් අනතුරුව කථානායකවරයා ගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ විසින් එකී පැමිණිල්ලට අදාළ කරුණු පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය ගෙන් ඉල්ලා ඇති අතර, එසේ ඉල්ලා සිටීම මඟින් අල්ලස් කොමිසම හමුවේ කර ඇති පැමිණිල්ලේ විමර්ශනවලට බාධා හා බලපෑම් සිදුවන බැවින් චමීර ගාල්ලගේට විරුද්ධව පියවර ගන්නා ලෙසත් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ද අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

 

#vipakshaya,lk #theleader.lk #newstube.lk 

Search