නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉදිරියේදී විද්වත් කමිටුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ඉදිරියේදී විද්වත් කමිටුවක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසිපරිදි ඉදිරියට ගෙනයෑම සඳහා ජනාධිපතිවරයා විසින් විද්වත් කමිටුවක් පත්කිරීමට නියමිත බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (20) යාපනයේ පැවැති සම්මන්ත්‍රණයකදීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ඊයේ මෙලෙස පැවැත්වුණි.

එය සංවිධාන කර තිබුණේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උදෙසා ජනතා ව්‍යාපාරය විසිනි.

 

''මෙන්න මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන 2026 අවුරුද්දේ වෙන් කරලා තියෙනවා රුපියල් බිලියන දාහතක්. ඒ පාසල් අතර තියෙන යටිතල පහසුකම් වර්ධනය කරන්න. ඒ වගේ උපාධිධාරී ගුරුවරුන් 23,004ක් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය අරගෙන තියෙන්නේ. මාර්තු පස්වෙනිදා වෙනකොට අයදුම්පත් ගන්න එක අවසන් වෙනවා. එතනින් පස්සේ අපිට බඳවා ගැනීම් කටයුතු කරන්න පුළුවන්. මේ සාමාන්‍ය පෙළ ක්‍රමය මේ විදිහටම ක්‍රියාත්මක වෙනවා. හැබැයි තියෙන ස්වරූපය වෙනස් වෙයි. අලුත් විෂය මාලා සංවර්ධනයත් එක්ක. මේ ක්‍රියාවලිය තුළ ඇගයීම් ක්‍රම ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් අපේ වගේ රටවල්වල අපි දන්නවා ගුරුවරයා සහ ළමයා අතර තියෙන සමහර පුද්ගල සම්බන්ධතා වගේ දේවල් නිසා යම් ගැටළුකාරී තත්වයක් ඇති වෙන්න පුළුවන්.  අපි ඒක සාකච්ඡා කරලා මේ අනුපාතය කොයි විදියට වෙන්න ඕනේ කියලා ඒ විද්වත් වෘත්තිකයන් විසින් තීරණය කරාවි. 

විශේෂයෙන් ඔය ඉංග්‍රීසි ඇතිවෙච්ච දුර්වල තැන් කිහිපයක් තිබුණා. අපිට ඒවා නිවැරදි කරගන්න අවශ්‍යයි.. ඒ වගකීම් විරහිතව කටයුතු කරපු නිසා තමයි එවැනි දෙයක් පෙළපොතට ඇතුලත් වෙලා තියෙන්නේ. අපි ඒ අයට දැන් දඬුවම් දීලා තියෙන්නේ. දැනට තියෙන අනෙකුත් පෙළපොත් සම්බන්ධයෙනුත් විද්වත් වෘත්තිකයන් හරහා ගැඹුරු විමර්ශනයක් කරන්න අපි කටයුතු කරනවා. ඒ හරහා, එතනින් පස්සේ අපි 2027දී හය වසරේ ඉඳලා නැවත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කරනවා. 

එතෙනදී සමහරු අහනවා අර දැන් මේ 2026 වසරේ ඉඳලා හය වසරේ දරුවෝ සූදානම් වෙලා හිටියා. දෙමව්පියෝ සූදානම් වෙලා හිටියා. ඒ දරුවන්ට හත වසරෙදි ඉඳලාවත් මේක ක්‍රියාත්මක කරන්න ඉල්ලීමක් තියෙනවා. නමුත් ඒක දේශපාලඥයන් හැටියට අපි විසින් තීරණය කළ යුතු එකක් නෙමෙයි. ඒ හා සම්බන්ධ අධ්‍යාපනඥයන්, විද්වත් වෘත්තිකයන් එක්ක කරන සාකච්ඡාවකින් පස්සේ අපි හොයලා බලනවා 2027 අවුරුද්දෙදි 7වසරේ ඉඳලා දරුවන්ට අවස්ථාව ලබා දෙන්න පුළුවන්ද කියලා. ඉක්මනින් අපි බලාපොරොත්තු වෙනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා විද්වත් වෘත්තිකයන්ගෙන් සමන්විත ඒ වගේම අවශ්‍ය වන අනෙකුත් කණ්ඩායම් සහභාගී වන කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත් කරන්න.''

 

[ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක,]

Search