ජනාධිපතිවරයා යාපනයේදී සහ අග්‍රාමාත්‍යවරිය මන්නාරමේදී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉල්ලා අස් කර ගත යුතු බවත්, ඊට සමාව දීමට තමන් සූදානම් බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව අවධාරණය කළේ බුදු සසුනට හා භික්ෂුවට එරෙහි අභියෝගවලට මුහුණදීමේ අරමුණින් ඊයේ (20) කොළඹදී සංවිධාන කළ මහ සඟ සමුළුව අමතමින්.
මෙම සමුළුවේදී ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ යුතු කරුණු 10ක් ඇතුළත් සංඝ ප්‍රඥප්තියක් ද ප්‍රකාශයට පත් කෙරුණා.
වර්තමානයේ සම්බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට සහ බෞද්ධ සංස්කෘතියට එල්ලවන විවිධ තර්ජන පරාජය කිරීමේ අරමුණින් සංවිධාන කළ මහ සඟ සමුළුව කොළඹ බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී පැවැත්වුණා.
ඊට දිවයිනේ නන් දෙසින් පැමිණි මහා සංඝරත්නය වැඩම කර සිටියා.
මෙම සමුළුව සඳහා පක්ෂ විපක්ෂ ඕනෑම දේශපාලඥයෙකුටද සහභාගීවීමට ඉඩ සලසා තිබූ අතර, ඒ අනුව ඊට හිටපු සහ වත්මන් මැති ඇමතිවරු පිරිසක් මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද එක්ව සිටියා.
සංඝ ආඥාව සහිත සන්නස් පත්‍රය වේදිකාවේ තැන්පත් කිරීමෙන් සඟ සමුළුවේ කටයුතු ආරම්භ වුණා.
ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ යුතු කරුණු 10ක් ඇතුළත් සංඝ ප්‍රඥප්තිය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් වෙත පිළිගැන්වීමෙන් අනතුරුව එය ප්‍රකාශයට පත් කෙරුණා.