හිටපු ජනපති රනිල්ගේ නඩුවේ වුල්වර්හැම්ප්ටන් සරසවියේ ප්‍රතිචාරය අද (18) හෙළිවෙයිද ?

හිටපු ජනපති රනිල්ගේ නඩුවේ වුල්වර්හැම්ප්ටන් සරසවියේ ප්‍රතිචාරය අද (18) හෙළිවෙයිද ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිදුකළ සංචාරයකදී රුපියල් මිලියන 16.6ක රාජ්‍ය අරමුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාවලට අදාළ නඩුව අද  (18) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගැනීමට නියමිතය.


මෙම සංචාරය සඳහා විශ්වවිද්‍යාලයෙන් ලැබුණු ආරාධනය නිල මට්ටමේ එකක්ද නැතහොත් පෞද්ගලික එකක්ද යන්න තහවුරු කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වුල්වර්හැම්ප්ටන් (Wolverhampton) විශ්වවිද්‍යාලය වෙත ප්‍රශ්නාවලියක් යොමුකර තිබුණි.



විශ්වවිද්‍යාලයේ ප්‍රතිචාරය තීරණාත්මක වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය පෙබරවාරි 4 වැනිදා විද්‍යුත් තැපෑල සහ ගුවන් තැපෑල මඟින් එම විශ්වවිද්‍යාලයේ බලධාරීන් වෙත ප්‍රශ්න 9කින් යුත් ලිපියක් යොමු කළද, පසුගිය නඩු වාරය වන විටත් ඒ සඳහා ප්‍රතිචාර ලැබී නොතිබුණි.

අද දින නඩුව කැඳවන අවස්ථාවේදී එම තොරතුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකිවේද යන්න පිළිබඳව නීති ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ ද ඉහළ අවධානයක් යොමුව පවතී.



හිටපු ජනාධිපති ලේකම් රක්ෂිත බන්ධනාගාරයේ

මෙම නඩුවේ දෙවැනි විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර ඔහු ද අද  දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වියදම් ඇස්තමේන්තු සකස් කිරීමේදී එවක සිටි මහ කොමසාරිස්වරියගේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වගකීම පිළිබඳව විත්ති පාර්ශ්වය මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි.

අද දින නඩු විභාගයේදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් විශ්වවිද්‍යාලයෙන් ලැබුණු නවතම තොරතුරු හෝ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

lankalokaya

Search