නීතියේ පිළිසරණ බලාපොරොත්තුවෙන් පැමිණෙන ජනතාව මුහුණදී ඇති ප්‍රශ්න අවබෝධ කර ගනිමින් ඒ සඳහා සහාය ලබාදීය යුතු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකළේ, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව යටතේ දිවයින පුරා නීති ආධාර මධ්‍යස්ථානවල සේවය කරන නීති නිලධාරීන්ගේ කුසලතා දැනුම ධාරිතාව වැඩි දියුණු කිරීමේ පුහුණු වැඩමුළුවේ සමාරම්භක උත්සව අවස්ථාවට අද (14) එක්වෙමිනි.
යුක්තියට ප්රවේශවීමේ පහසුකම් සෑම පුද්ගලයෙකුටම භේදයකින් තොරව පැවතිය යුතු බවත් නීතියේ පිළිසරණ අපේක්ෂාවෙන් පැමිණෙන සියලු දෙනාට එකම ආකාරයට සැලකීම නීති නිලධාරීන්ගේ වගකීම බවත් ඒ කීය.
"නීති ආධාර කොමිෂන් සභාවට ජනතාව පැමිණෙන්නේ මුල්යමට අපහසුතාවයන්ගෙන් යුත් නීතියේ පිළිසරණ අපේක්ෂිත ජනතාවයි. ඉවසීම දයාව කරුණාව මුලික කර ගනිමින් ජනතාවට තිබෙන ප්‍රශ්න විසඳිය යුතුයි. නීතියේ පිළිසරණ බලාපොරොත්තුවෙන් පැමිණෙන ජනතාව මුහුණ දී ඇති ප්‍රශ්න අවබෝධ කර ගනිමින් ඒ සඳහා උපරිම සහාය ලබාදිය යුතුයි. එම පුද්ගලයාට ඇති ගැටළුව අපට වැදගත් නොවුණත් ඒ ප්රශ්නය නීති ආධාර අවශ්‍ය පුද්ගලයාට පවතින විශාලම ප්රශ්නය වෙන්න පුළුවන්.
අධිකරණය තුළ සිදුවන දේ තම සේවාදියකයාට පැහැදිලි කරදීම නීතිඥවරයාගේ වගකීමක් වෙනවා. දිවයින පුරා සිටින නීති ආධාර කොමිෂන් සභා නීති නිලධාරීන් දැනුවත් කිරීමේ මෙම වැඩසටහන අතිශයින් වැදගත් බව සඳහන් කළ යුතුයි. ඔබට සේවය කරන කාර්යාලයේ පහසුකම් අවම වෙන්න පුළුවන් . එහෙත් ජනතාවට අවශ්‍ය නීති සහාය නිසි පරිදි ලබා දෙන්න. වැටුප් වැඩිවීම, ප්‍රවාහන පහසුකම්, නිලධාරී පුරප්පාඩු වැනි ගැටළු ඔබ ආයතනය තුළ තිබෙන බව අපි අවබෝධ කර ගෙන සිටිනවා. ආර්ථික ප්‍රපාතයෙන් යුතුව පැවති රටක් ඉදිරියට යාමේදී ක්‍රමයෙන් ගමන් කළ යුතුයි. රැකියාවට එහා ගිය සේවයක් කරන අදහසින් රැකියාව සිදු කිරීම අතිශයින් වැදගත්."