නාමල්ගේ පාක්ෂිකයන්ට කුඩත් බෙදලා
colombo airport super draw ලොතරැයියෙන් ලක්ෂ 78ක් අය විය යුතුයි
වසර 10ක පාඩුව මිලියන 33යි
නීති පියවර ගන්නා බව සභාපති එම්.ඩී.සී. පෙරේරා කියයි
පසුගිය වසර 10ක කාලයේ ජාතික ලොතරැයි මණ්ඩලයට සිදු කළ දේශපාලන අතපෙවීම් නිසා රුපියල් මිලියන 33කට ආසන්න අලාභයක් සිදුව ඇතැයි ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්. ඩී. සී. ඒ. පෙරේරා මහතා පැවසීය.
සභාපතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (17) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙලෙස ද කීවේය.
“ජාතික ලොතරැයි මණ්ඩලයට පාඩු කළ සියලුම දෙනාට එරෙහිව මේ සතියේදී පොදු දේපළ පනත යටතේ සහ දූෂණ විරෝධී පනත යටතේ පැමිණිලි කිරීමට පියවර ගන්නවා. 2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලය රුපියල් මිලියන 6.8ක් වියදම් කර තිබෙනවා. එය නැවත අය කරගැනීම සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ලොතරැයි මණ්ඩලය කටයුතු කරනවා.
2015 වසරේ 32 වැනි වරට සිදු කළ colombo airport super draw ලොතරැයිය විකිණීම වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් 26540ක් ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 7.8කට) ආසන්න මුදලක් ජාතික ලොතරැයි මණ්ඩලයට අය විය යුතුව තිබෙනවා. ඒ සඳහා ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශර්මිලා පෙරේරා සහ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරි සාමාජිකයෙක් වන සන්දික දිමුත් පීරිස් නමැති අයට එරෙහිව පැමිණිලි ගොනු කරනවා.
2015-2019 කාලසීමාවේ හේෂා විතාන මන්ත්‍රීවරයාගේ බිරිය විසින් ලොතරැයිපත් විකුණා ජාතික ලොතරැයි මණ්ඩලයට ගෙවිය යුතු මුදල රුපියල් මිලියන 2.1ක් ලෙස සඳහන්ව තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඥාති සොහොයුරියකට අලෙවි නියෝජිත මධ්‍යස්ථානයක් දීමෙන් රුපියල් මිලියන 9.8ක් ජාතික ලොතරැයි මණ්ඩලයට අය විය යුතුව තිබෙනවා. මැතිවරණ සමයේදී හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ පාක්ෂිකයන්ට දීමට ජාතික ලොතරැයි මණ්ඩලයෙන් කුඩ දෙසීයක් පමණ ගෙන මණ්ඩලයට රුපියල් ලක්ෂ දෙකක අලාභයක් සිදු කර තිබෙනවා. මීට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවයට බඳවාගෙන දේශපාලන ක්‍රියාකාරකම් සඳහා වැටුප් ගෙවීමට රුපියල් මිලියන 6.5ක් අවභාවිත වී තිබෙන බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.
මේ සියලු දෙනාටම එරෙහිව මේ සතිය ඇතුළත දූෂණ විරෝධී සහ පොදු දේපළ පනත යටතේ පැමිණිලි ගොනු කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය කටයුතු කරනවා. ලබන වසර වන විට පොදු ව්‍යාපාර කාරක සභාවට මේ ප්රශ්නය ගෙන යෑමට ඉඩ තබන්නේ නෑ.”
ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඒ. එම්. හාරිෆ්, අතිරේක සාමාන්‍යාධිකාරි නීතිඥ සංජීව එදිරිසිංහ මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ