ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 30.9 යි!

ශ්‍රී ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 30.9 යි!

ශ්‍රී ලංකාවේ සමස්ත දේශීය සහ විදේශීය ණය ප්‍රමාණය පසුගිය සැප්තැම්බර් මස වන විට රුපියල් ට්‍රිලියන 30.9ක් බව කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම තොරතුරු අනාවරණය කළේය.

ඊට අනුව සමස්ත ණය ප්‍රමාණය වන රුපියල් ට්‍රිලියන 30.9, පහත පරිදි දේශීය හා විදේශීය ණය ලෙස බෙදී යන අතර, ඒ දේශීය ණය රුපියල් ට්‍රිලියන 19.6 ක් සහ විදේශීය ණය රුපියල් ට්‍රිලියන 11.3ක් වශයෙනි.

විදේශීය ණය වර්ගීකරණය කරමින් අමාත්‍යවරයා පැවසුවේ ද්වී පාර්ශ්වීය ණය ට්‍රිලියන 3.3 ක්ද, බහු පාර්ශ්වීය ණය ට්‍රිලියන 4.2 ක්ද, ස්වෛරී බැඳුම්කර ට්‍රිලියන 3.1 ක්ද, කාලීන ණය පහසුකම් ට්‍රිලියන 0.7 ක්ද ඊට ඇතුළත් බවයි.

වත්මන් ආණ්ඩුව පත්වූ පසුව පසුගිය අගෝස්තු මාසය වන විට ලබාගෙන ඇති ණය ප්‍රමාණය ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ අතර ඒ, දේශීය ණය රුපියල් බිලියන 1393 ක් සහ විදේශීය ණය රුපියල් බිලියන 526 ක් වශයෙනි .

පසුගිය වසර තුළ රජය විසින් ගෙවූ සමස්ත ණය ප්‍රමාණය පිළිබඳව තොරතුරු සපයමින්, අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රජය විශාල පොලී සහ වාරික ගෙවීම් සිදුකර ඇති බවයි.

ඒ අනුව විදේශීය ණය ගෙවීම්, ණය වාරික රුපියල් බිලියන 310 ක් සහ පොලිය බිලියන 211 ක් ලෙස රුපියල් බිලියන 521 ක් ගෙවා ඇත.

දේශීය ණය ගෙවීම් ණය වාරික බිලියන 5391 ක් සහ පොලිය බිලියන 1340 ක් වශයෙන් රුපියල් බිලියන 6731 ක් ගෙවා ඇත.

ඉදිරි වසර පහක කාලය තුළ රජයේ ආර්ථික වර්ධන වේගය අවම වශයෙන් සියයට 4.5 ක මට්ටමක පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය

Search