විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් 21දා රජයට විරුද්ධව පවත්වනු ලබන විරෝධතා රැළිය සඳහා සමගි ජනබලවේගයේ පාර්ශ්ව මෙන්මසමගි ජනබලවේගයේ නියෝජිතයන් කිහිප දෙනෙකුද සහභාගි වන බව සමගි ජනබලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවසීය. එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (04දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ හිටපු මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
පසුගිය වසරේ ලාභ ලැබූ විදුලි බල මණ්ඩලය පම්පෝරි ආණ්ඩුවේ පාලනය යටතේ මාස 6 ක් ඇතුළත රුපියල් කෝටි 1300 කින් පාඩු ලබා තිබෙනවා. ඒ වගේම ඛණිජ තෙල් නීතිගත සංස්ථාවත් මේ වසරේදී පාඩු ලබා තිබෙනවා. කෙසේ නමුත් විදුලි බල මණ්ඩලය පාඩු ලබන්න රටේ විදුලි පාරිභෝගිකයන් විදුලි බිල නොගෙවා සිටියෙත් නැහැ. ඒ වගේම ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන්න රටේ ජනතාව ණයට ඉන්ධන ලබාගෙනත් නැහැ. නමුත් විදුලි බල මණ්ඩලය සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව දැවැන්ත පාඩුවක් ලබා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් සමාගම පසුගිය වසරේදී රුපියල් බිලියන 3.5 ක් ලාභ ලැබුවත් මේ වසරේදී රුපියල් බිලියන 7.5 ක් අලාභයක් ලබා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් සමාගම ගොඩගැනීමට වර්තමාන රජය විසින් රුපියල් බිලියන 20 ක් ලබාදී තිබෙනවා.
රටේ ජනතාව පීඩාවට පත් කර අය කර ගන්නා බදු මුදල්වලින් තමයි ආණ්ඩුව ශ්‍රී ලංකා ගුවන් සමාගමට බිලියන 20 ක් ලබා දී තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ තමයි ශ්‍රී ලංකා ගුවන් සමාගම පාඩු ලබන්නේ. ඒ වගේම පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවත් දැවැන්ත පාඩුවක් ලබා ඇති බව වාර්තා වෙනවා. ඒ වගේම 2024 අවසාන කාර්තුවේ සිට 2025 ජුනි දක්වා රජයේ ණය බරතාවය රුපියල් බිලියන 896 කින් ඉහළ ගොස් තිබෙනවා. මේ වසර ආරම්භයේ දී රු.බි. 28,738.70 ක් වූ ශ්‍රී ලංකා රජයේ සමස්ත ණය ප්‍රමාණය ජුනි මස අවසානය වන විට රු.බි. 29,634.78 දක්වා රු.බි. 896.08 කින් ඉහළ ගොස් ඇත. නමුත් ණය ලබාගෙන ආණ්ඩුවක් කරන්න රජයක් අවශ්‍ය නැති බව අනුර දිසානායක මහතා විපක්ෂයේ සිටින විට ප්‍රකාශ කළා. එම කාලය තුළ රු.බි. 10,429.04 ක් වූ විදේශ ණය ප්‍රමාණය රු.බි. 10,828.70 දක්වා රු.බි. 399.66 කින් වැඩිවී ඇත.
ආණ්ඩුවේ මැති ඇමැතිවරු හොරකම් කරන්නේ නැතිනම්, දූෂණයට තිත තියල නම්, නාස්තිය අවම කර තිබෙනවා නම්, හොරු යැයි චෝදනා එල්ල කළ පිරිස් ආණ්ඩු කරන කාලයේදී ලාභ ලැබූ විදුලි බල මණ්ඩලය, ලාභ ලැබූ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ලාභ ලැබූ ශ්‍රී ලංකා ගුවන් සමාගම වැනි ආයතන පාඩු ලබන්නේ කෙසේද? ඒ වගේම භාණ්ඩ හා සේවාවල මිල ගණන් පහළ නොයා දිනෙන් දින භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යනවානම්, ආණ්ඩුව හොරකම් කරන්නේ නැතිනම් එවැනි ශුද්ධෝත්තම පිරිස් රට පාලනය කරන විට රාජ්‍ය ආයතන පාඩු ලබන්නේ කෙසේද? ඒ වගේම සමුපාකාර ඡන්ද සියල්ල ආණ්ඩුව පරාජයට පත්වෙනවා. ඒ වගේම ජාතික ජනබලවේගය විසින් පාලනය කරන ඇතැම් සමුපාකාර අධික ලෙස පාඩු ලබනවා. ලාභ ලැබූ සමුපාකාර සියල්ල ජාතික ජනබලවේගයේ පාලනය යටතේ අධික ලෙස පාඩු ලබමින් තිබෙනවා