විදුලි බිල වැඩි කරනු.. ලංවිම හතරට කඩනු..- IMF රජයට දන්වයි

 විදුලි බිල වැඩි කරනු.. ලංවිම හතරට කඩනු..- IMF රජයට දන්වයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම හා නිර්දේශ මත ඉදිරියේදී විදුලි බිල අනිවාර්යයෙන් ම වැඩි කිරීමට ශ්‍රී ලංකා රජයට සිදු වී තිබෙන බව වාර්තා වේ.


විදුලි ගාස්තු අය කිරීම ඉහළ දැමීමට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට මෙම මාසයේ ලබා දිය යුතු බව ත් එය මූල්‍ය අරමුදල සමග වැඩසටහනේ 5 වන සමාලෝචනයේ කොටසක් බව ත් අරමුදල සඳහන් කර ඇත.

මේ වන විටත් එසේ ම සියයට 6.8කින් විදුලි බිල වැඩි කිරීමට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසම වෙත මේ වනවිට භාර දී ඇති අතර ඒ පිළිබඳව මහජන අදහස් විමසීමද පසුගිය දා සිදුවිණි.

එම අරමුදල විසින් ලබා දී ඇති විස්තීරණ ණය පහසුකමේ ඊළඟ ණය වාරිකය ලබා දීමට පෙර සිදු කරන කාර්ය මණ්ඩල සාකච්ඡාවලදී මෙම කරුණ සාකච්ඡාවට ලක්ව ඇති බව ත් පිරිවැය මත පදනම් වූ විදුලිය ගාස්තු අය කිරීමේ ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මකක කිරීම සහ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ කඩිනම් කළ යුතු බවට ඔවුන් යෝජනා කර ඇති බව ත් සඳහන් වේ.

ඕනෑ ම, පෞද්ගලික සමාගමක් තම සේවාවට යොදන පිරිවැයට සරිලන ලෙස අදාළ පාරිභෝගිකයාගෙන් ගාස්තු අය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝඕ පසුගිය දා මේ සම්බන්ධව අදහස් දක්වමින් මාධ්‍ය හමුවකදී ද අනාවරණය කළේ ය.

ඒ අනුව, ශ්‍රී ලංකාවටත් එය අදාළ විය යුතු බව මූල්‍ය අරමුදලේ ලංකා දූත මණ්ඩල ප්‍රධානියා රජය වෙත අවධාරණය කළ අතර අනාගතයේදී කවදා හෝ විදුලි බිල අඩු කර ගැනීමට නම් මෙම බිල වැඩි කිරීම හා විදුලිබල මණ්ඩලය කොටස් 4කට බෙදීම අනිවාර්ය බව පැපජෝජියෝඕ පැවසීය.

මේ අතර, විදුලි ගාස්තු වැඩි කිරීම සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් අයි.එම්.එෆ්. සිව්වන සමාලෝචනයේදී සකස් කරන ලද මිනුම් ලකුණු සීමා, ලබන නොවැම්බර් මස තක්සේරු කරන බව මූල්‍ය අරමුදල පවසා තිබේ.

එලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම වර්ධනය වුවහොත් ශ්‍රී ලංකා රජයේ මූල්‍ය තත්ත්වය පිරිහීම, උද්ධමනය ඉහළ යෑම, බදු අවශ්‍යතා සම්පූර්ණ නොවීම හෝ ණය ගැනීමට හේතු විය හැකි බවට ද අරමුදල් බලධාරීන් රජයට අනතුරු අඟවා ඇත.

Search