පොලිස් කොමිසම ආණ්ඩුවේ පඹයෙක් කරගෙන : පොලිස් රාජ්‍යකටද යන්නේ ? විපක්ෂය රතු එලි දක්වයි !

පොලිස් කොමිසම ආණ්ඩුවේ පඹයෙක් කරගෙන : පොලිස් රාජ්‍යකටද යන්නේ ? විපක්ෂය රතු එලි දක්වයි !

පොලිස් මාරුවීම් සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ බලතල පොලිස්පතිට පැවරීම පිළිබඳව අද (08) පාර්ලිමේන්තුව තුළ උණුසුම් වාද විවාද ඇති විය.


කථානායක ජගත් වික්‍රමරත්න ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය අතර මේ සම්බන්ධව දැඩි මත ගැටුමක් ඇති විය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කර සිටියේ, පොලිස් මාරුවීම් පොලිස් කොමිසමෙන් පිටතින් පොලිස්පතිවරයාට ලබාදීමේ ක්‍රියාවලියක් සිදුවන බවට තොරතුරු ලැබී ඇති අතර එම ක්‍රියාවලිය වහාම නවත්වන ලෙසයි.

එහිදි නැගී සිටි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාද මෙම චෝදනාව තහවුරු කරමින්, 2017 වර්ෂයේ සිට පොලිස් කොමිසම මගින් මාරුවීම් සිදු වූ බවත්, මේ අවස්ථාවේදී එය පොලිස්පතිවරයා වෙත පැවරීම කිසිසේත්ම නොකළ යුත්තක් බවත් අවධාරණය කළේය.

ජයසේකර මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මේ වන විට පොලිස් ස්ථානාධිපතිවරු 32ක් සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිපදෙනෙක් පොලිස් කොමිසමට පරිභාහිරව මාරු කර ඇති බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද මෙහිදි අදහස් දක්වමින්, පොලිස් කොමිසමේ ප්‍රධාන අරමුණ වන්නේ නිර්දේශපාලනීකරණය බව පෙන්වා දුන්නේය. එම නිසා, පොලිස් කොමිසම “ආණ්ඩුවේ රූකඩයක් හෝ පඹයෙක්” කිරීම නොකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

චමින්ද විජේසිරි, සුජීව සේනසිංහ, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේම අදහස් දැක්වීම හමුවේ සභාව තුළ උණුසුම් තත්ත්වයක් ඇති විය.

රංජිත් මද්දුමබණ්ඩාර මන්ත‍්‍රීවරයා චෝදනා කළේ ආණ්ඩුව පොලිස් කොමිසමට තර්ජනය කරන බවයි. විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් අවධාරණය කළේ ආණ්ඩුව ක්‍රමානුකූලව පොලිස් රාජ්‍යයකට ගමන් කරමින් සිටින බවයි.

මෙම චෝදනාවලට පිළිතුරු ලබාදුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස , මෙම මාරුවීම් සිදුවන්නේ පොලිස් කොමිසමට අනුව බව ප්‍රකාශ කළේය.

ඔහු පෙන්වා දුන්නේ, පොලිස් කොමිසම කැමැත්තෙන් සමහර කරුණු පොලිස්පතිවරයාට ලබා දී ඇති බවත්, එම තීරණ සම්බන්ධයෙන් පොලිස් කොමිසමට අභියාචනා භාරදීමට හැකියාව පවතින බවත්ය.

ඒ මහතා තවදුරටත් පැහැදිලි කළේ, පොලිස් කොමිසම මගින් මාරුවීම් කරන විට අභියාචනයක් ලබාදීමට තැනක් නොතිබූ නමුත්, මේ වන විට අභියාචනා භාරදීමට අවස්ථාව ලැබී ඇති බවයි. ආණ්ඩු පක්ෂය විසින් පොලිස් රාජ්‍යයකට ගමන් කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන ලදී.

මේ අතර, කථානායකවරයා අවධාරණය කළේ මෙම කාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කරන ලෙසයි

Search