මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගැන ඇහුවම හඳුන්නෙත්තිට වියරු වැටේ

 මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගැන ඇහුවම හඳුන්නෙත්තිට වියරු වැටේ

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් දක්වන ආකල්පය මේ වන විට සමාජය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ.

විශේෂයෙන්, දෙරණ 360 වැඩසටහනේදී මාධ්‍යවේදී කලිඳු කරුණාරත්න විසින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ගෙන් වත්කම් ප්‍රකාශය පිළිබඳව ප්‍රශ්න කිරීමට උත්සාහ කිරීමේදී ඇති වූ තත්ත්වය මෙයට හොඳම උදාහරණය බවට පත්ව තිබේ.

මාධ්‍යවේදියා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දීම වෙනුවට, අමාත්‍යවරයා පවසා ඇත්තේ එම කරුණු පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රශ්න නොකර, ගැටලුවක් ඇත්නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසයි. අමාත්‍යවරයාගේ මෙම ආකල්පය, මාධ්‍යවේදියෙකු සතු ප්‍රශ්න කිරීමේ අයිතියට කෙළින්ම බාධා කිරීමක් බවට මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ චෝදනා එල්ල වේ.

මෙම වැඩසටහනේදී මාධ්‍යවේදියා ප්‍රශ්න කිරීමට උත්සාහ කළේ, අමාත්‍යවරුන්ගේ වත්කම් ප්‍රකාශවල ඇති අසම්පූර්ණ බව සහ ඒවා නියමිත පටිපාටියට සකස් කර නැත්තේ මන්ද යන්න පිළිබඳවය. එය නීතිය නොසලකා කටයුතු කිරීමක් නොවේද යන්නය.

උදාහරණයක් ලෙස, අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සතු පර්චස් 44ක ඉඩමක් ලැබුණු ආකාරය, එහි වටිනාකම හෝ මිලදී ගත් ආකාරය පිළිබඳ විස්තර සඳහන් කර නැති බවට ඔහු පෙන්වා දුන්නේය.

මෙම ගැටලුව හඳුන්නෙත්ති අමාත්‍යවරයාට පමණක් සීමා වී නැත. විජිත හේරත් අමාත්‍යවරයා තම ඉඩමක වටිනාකම රුපියල් 7,000ක් ලෙස ද, සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා තමා සතු ස්වර්ණාභරණවල වටිනාකම ද සඳහන් කර නැති බව එහිදි සඳහන් කෙරිණ.

අධිකරණ අමාත්‍යවරයා සිය වත්කම් බැරකම් ප්‍රකාශය දිවුරුම් කොමසාරිස්වරයෙකුගෙන් සහතික කරවාගෙන නොමැති වීම ද තවත් ගැටලුවක් ලෙස ඉදිරිපත් විය.

මෙම සිදුවීමත් සමඟ සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් පළ වෙමින් පවතින අතර, ජවිපෙ දේශපාලන භාවිතය පිළිබඳව පුළුල් විවාදයක් ඇති වී ඇත.

බොහෝ දෙනෙක් පෙන්වා දෙන්නේ, ජවිපෙ බිහි වී ඇත්තේ ආඥාදායක පාලනයක් සහිත කොමියුනිස්ට් දෘෂ්ටිවාදයකින් වන බවත්, “අපි විතරයි ප්‍රශ්න අහන්නේ, අපෙන් ප්‍රශ්න අහන්න බැහැ” යන ආකල්පය එයින් පැන නැගුණු බවත්ය.

එමෙන්ම, සාමාන්‍ය ජනතාවගෙන් පෝෂණය වන මෙවැනි දේශපාලන ව්‍යාපාර බලයට පැමිණි විට, ඔවුන්ගේ සරල දිවි පැවැත්ම වෙනුවට “අමුතුම ධනපති විශේෂයක්” සිට ඇති බවට ඇතැම් විචාරකයන් චෝදනා කර තිබිණ.

ඔවුන් යථාර්ථයේ පවතින ධනවාදී ආර්ථිකය සහ තම අප්‍රායෝගික සමාජවාදී ආර්ථික දෘෂ්ටිය අතර දෝලනය වීමෙන් රටේ ආර්ථිකය අඩපණ වන බවටද අදහස් පළ වේ.

මෙවැනි තත්ත්වයන් තුළ, රාජ්‍යය තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡා පුළුල් වීම අත්‍යවශ්‍ය බවත්, එසේ නොමැතිව නායකයන්ට අන්ධ ලෙස අනුගත වීමෙන් රටේ තත්ත්වය තවදුරටත් අවුල් විය හැකි බවත් විචාරක මතය වී තිබේ.

Search