වසන්ත සමරසිංහ අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද වත්කම් බැරකම් ප්‍රකාශයේ ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) සඳහන් කර තිබීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රිප්ටෝ මුදල් නීත්‍යානුකූල නොවන බවට ප්‍රකාශ කර ඇති පසුබිමක, අමාත්‍යවරයෙකු විසින් එවැනි වත්කමක් ප්‍රකාශ කිරීම නීතිමය වශයෙන් ගැටලු සහගත බවට බොහෝ දෙනා පෙන්වා දෙති.
ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරන්නේ ක්‍රිප්ටෝ මුදල් යනු කිසිදු රාජ්‍ය මූල්‍ය අධිකාරියක පාලනයකින් තොරව පෞද්ගලිකව නිර්මාණය කෙරෙන, අතථ්‍ය මුදල් වර්ගයක් බවයි. එය නීත්‍යානුකූල මුදල් ලෙස මෙරට පිළිගන්නේ නැති අතර, ඒ සඳහා කිසිදු නියාමන ආරක්ෂාවක් ද නොමැත.
මහ බැංකුව පෙන්වා දෙන්නේ, ක්‍රිප්ටෝ මුදල් ලාභදායී ආයෝජනයක් ලෙස ප්‍රචලිත වී ඇතත්, වංචනික ක්‍රියාකාරකම් සඳහා ද ඒවා යොදා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බවයි. ඊට අමතරව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ ක්‍රිප්ටෝ ගනුදෙනු සඳහා ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කිරීම ද තහනම් කර ඇත. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ද මීට පෙර අවස්ථාවකදී “ලංකාව තුළ ක්‍රිප්ටෝකරන්සි භාවිතය නීත්‍යනුකූල නැහැ” යනුවෙන් පැහැදිලිවම ප්‍රකාශ කර තිබුණි.
මෙවැනි පසුබිමක, වසන්ත සමරසිංහ අමාත්‍යවරයාගේ වත්කම් ප්‍රකාශයේ ක්‍රිප්ටෝ මුදල් සඳහන් වීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ගෙන් විමර්ශනයක් ඉල්ලා සිටින බව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන්වලින් පෙනී යයි.
රටේ ප්‍රධාන නීති සම්පාදකයෙකු වන අමාත්‍යවරයෙකු නීතියට පටහැනි ක්‍රියාවක් සිදු කර ඇත්ද යන්න පිළිබඳව මෙය බරපතළ ප්‍රශ්නයක් මතු කරයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මේ දක්වා නිල ප්‍රකාශයක් හෝ විමර්ශනයක් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා නොවේ.