පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
මාලිමා ආණ්ඩුව හෙට දිනයට වසරක් සම්පුර්ණ කරනවා බොහෝ දෙනෙක් මැතිවරණය පැවැත්වු දිනය වසරක් ලෙස සැලකුවත් අනුර කුමාර දිසානායක මැතිතුමා රටේ ජනාධිපතිතුමා ලෙස වැඩ භාර ගත්තේ සැප්තැම්බර් 23 එහෙනම් මේ ආන්ඩුව සැප්තැම්බර් 23ට වසරක් සම්පුර්ණ කරනවා. ආණුඩුව මොකද කලේ කියන එක මේ දවස්වල හැමෝම ප්‍රශ්න කරනවා.
මාලිමා ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල ජනතාවට පොරොන්දු 1,329ක් ලබා දුන්නා. නමුත් පළමු වසරට ඉටු කරලා තිබෙන්නේ 5ක් පමණයි. ඒවාත් අනාගත නායකයින්ගේ කොන්ද කඩන බෙදුම්වාදින් සතුටු කරන හිටපු ජනපතිවරුන්ගේ නිල නිවාස අහිමි කිරීම වැනි නිරර්ථක වෛරී පොරොන්දු විතරයි. වහාම ඉටු කරනවා කිව්ව පෙට්‍රල් මිල රු150 අඩු කිරීම සිද්ධ වුණේ නෑ. ඉතා කෙටි කලකින් විදුලි බිල 1/3කින් අඩු කරනවා කිව්වත් දැන් ඔන්න ඒක වැඩි කරන්න යන්නේ. පළමු අයවැයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ මත තිබෙන වැට් බද්ද ඉවත් කරනවා කිව්වා. ඒක සිද්ධ වුණෙත් නෑ. පළමු වසර තුල නිශ්චිතව කරනවා කියපු කිසිම දෙයක් මේ ආණ්ඩුව කලේ නෑ.
පළමු වසර තුල මේ ආණ්ඩුව මුකුත් නොකර නිකන් සිටියා කියා අපි කියන්නේ නෑ. ආණ්ඩුව කළ වැඩ කොටසක් තිබෙනවා. කුහක නොවී අපි ඒවා සිහිපත් කරන්න ඕනි. අත්තනගල්ල පැත්තේ නිධානයක් ගොඩ ගන්න රාජ්‍ය අනුග්‍රහයෙන් දැවැන්ත වලක් හෑරුවා. ජනාධිපතිතුමාගේ වාසනාවට තමයි ඒ නිධානය පහල වුණේ කියලා හඳුන්නෙත්ති ඇමතිතුමා කිව්වත් එතැන අන්තිමට තිබුණේ කළු ගලක්. ආචාර්ය උපාධිය සොයා ගෙන එන්න රන්වල කතානායකතුමාව ජපානය බලා පයින්ම පිටත් කලා. පයින් ගමන නිමා කරලා ලබන මාසයේ වෙනවිට එතුමා ලංකාවට එන්න ඕනි. ඉතිහාසයේ ප්‍රථම වතාවට සතොස ටෙන්ඩරයක් හතර වතාවක් ප්‍රතික්ෂේප වුණා. ඒ නිසා පෞද්ගලික අංශයට කැමති මිලකට හාල් විකුණන්න පුළුවන් වුණා.
රිලා සංගණනයක් කරලා රිලවුන්ගෙන් වගාවට තිබෙන කරදරය සදහටම අවසන් කලා. මේසයට ගහලා හාල් මිල වැඩි කලා. 1977 පස්සේ ප්‍රථම වරට සහල් පෝලිම් ඇති කලා. රතු ලේබල් බහාලුම් 323ක් පරික්ෂා නොකර නිදහස් කලා. මහවංශයේවත් සඳහන් නොවන ලක් ඉතිහාසයේ පළමු වරට ලුණු හිඟයක් ඇති කලා. පොල්කිරි නැවක් ලංකාවට ගෙන්නුවා. බදු අඩු කරන්න ආපු ආණ්ඩුව විශ්‍රාමිකයින්ගේ පොලී ආදායමටත් 10% බද්දක් ගැහුව්වා.
යුද සමයෙන් පසු ප්‍රථම වරට මාස පහක් ඇතුලත වෙඩි තැබීමේ අර්ධ ශතකයක් වාර්තා කලා. ප්‍රයිවට් ජෙට් එකකින් ලංකාවට පැමිණි පළමු ජනපති ලෙස ඉතිහාසයට එකතු වුණා. ඒ වගේම ට්‍රම්ප් ජනාධිපතිට ලිපියක් යවලා මුළු ලෝකයටම තීරු බදු පැනවීම දින 90කට කල් දාලා දුන්නා. කොටි සටන් කලේ සාමය වෙනුවෙන් බවට ජනාධිපතිතුමා සොයා ගෙන රණවිරු සැමරුම් දිනයේ දී අපට දැනුම් දුන්නා.
බුදුන් වහන්සේ දේශනා කළ පස්පව් වලින් බොරු කීම ඉවත් කලා. දැන් බොරු කීම අයිතියක් මිස පාපයක් නොවේ. වෙසක් පෝය දවසේ ජනාධිපතිටත් හොරෙන් අපරාධකරුවෙකුට ජනාධිපති සමාව දුන්නා. හිරේ දාන්න පොරොන්දු වුණු මහින්ද සිරිවර්ධන මැතිතුමා ගැන ලොකු වර්ණනාවක් කරලා සම්මානයක් දුන්නා. පුංචි ඡන්ද වේදිකාවේ හොරු අපරාධකාරයෝ ලෙස හංවඩු ගහපු ස්වාධීන කණ්ඩායම් එක්ක විතරක් නොවේ සෑම පක්ෂයක් සමගම බලය සඳහා සංධානගත වෙලා කාගෙත් සුන්දරී වාර්තාව තිබ්බා.
මේ ආණ්ඩුව මුකුත්ම කලේ නෑ කියලා කවුරු හරි කියනවා නම් එයාට ටොක්කක් ඇනලා මෙන්න මේ ලැයිස්තුව පෙන්වන්න.