වර්ධනයක් ඇතත් ශ්‍රී ලංකා ආර්ථිකය තවමත් තිබෙන්නේ පසුගිය 2018 වසරට වඩා පසුපසින් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කරන ලද නවතම දත්තවලින් අනාවරණය වේ.
2018 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා අතර කාලයේ දී දෙවන කාර්තුවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය වෙනස් වී ඇති ආකාරය සැලකීමේ දී, 2018 වසරට වඩා තවමත් මූර්ත දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකා ආර්ථිකය සමත් වී නැත.
එනම් 2018 වර්ෂයේ දෙවන කාර්තුවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය රු.බිලියන 3121.5 ක් ලෙස වාර්තා වූ අතර මේ වසරේ (2025) දෙවන කාර්තුවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය වාර්තා වී ඇත්තේ රු.බිලියන 2883.6 ක් පමණි.
මේ අනුව තවමත් රටේ දෙවන කාර්තුවේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය තිබෙන්නේ, 2018 වර්ෂයට වඩා පසුපසින් බව පැහැදිලි වේ. 2019 වසරේ වාර්තා කළ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය රු.බිලියන 3066.8 දක්වා අඩු වී ඇති අතර 2020 වසරේ දෙවැනි කාර්තුවේ දී දළ දේශීය නිෂ්පාදිතය රු.බිලියන 2541.2 ක් දක්වා තවත් අඩු විය.
ඉන් පසු 2021 වසරේ දෙවැනි කාර්තුවේ දී මූර්ත දළ දේශීය නිෂ්පාදිතය රු.බිලියන 2541.2 සිට රු.බිලියන 2877.1 දක්වා වැඩි වී ඇත. ඉන් පසුව 2022 වසරේ දෙවැනි කාර්තුවේ දී නැවත දළ දේශීය නිෂ්පාදිතය 2724.4 ක් දක්වා පහත වැටී ඇත.
ඉන් පසු පිළිවෙළින් 2023 සහ 2024 යන වසර දෙකේ දෙවැනි කාර්තුවේ දී රු.බිලියන 2541 ක් සහ රු.බිලියන 2749.5 ක් ලෙස වාර්තා වී අවසාන වශයෙන් මේ වසරේ (2025) දෙවැනි කාර්තුවේ දී දළ දේශීය නිෂ්පාදිතය රු.බිලියන 2883.6 ක් දක්වා වර්ධනය වී තිබේ.
මේ ඉහළ යෑම අනුව මේ වසරේ (2025) දෙවැනි කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 4.9 ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර ඇති නමුත් තවමත් රටේ නිෂ්පාදිත දත්ත 2018 වසරට තිබෙන්නේ පහළ මට්ටමකින් වන බැවින් බොහෝ ආර්ථික විද්වත්හු ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙති.