ආණ්ඩුවේ ඒකාධිපතිත්වයට බිය නොවී එකට මුහුණදිය යුතුයි--එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ආණ්ඩුවේ ඒකාධිපතිත්වයට බිය නොවී එකට මුහුණදිය යුතුයි--එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

වත්මන් ආණ්ඩුව විසින් විපක්ෂය නියෝජනය කරන නායකයන් විවිධ හේතු දක්වමින් බිය වද්දා නිහඬ කර, අක්‍රීය කර මෙරට නිදහස ලැබූදා සිට ක්‍රියාත්මක වූ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමේ බරපතල තර්ජනයක් මතුව ඇති බවත් ඊට එරෙහිව සියළු දෙනා බිය නොවී එකට මුහුණදිය යුතුව ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී අද (20) පැවති එක්සත් ජාතික පක්ෂයේ අභිමානවත් 79 වන සංවත්සරය අමතමිනි.

“ඔබේ මතය ඔබ දරන්න – ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරාජය කරන්න එකට සිටගමු !” යන තේමාවෙන් පැවති මෙම සංවත්සරයේ වඩාත් සුවිශේෂීම සිදුවීම වූයේ විපක්ෂය නියෝජනය කරන සියළු පක්ෂ වල නායකයන් හෝ මහ ලේකම්වරුන්ගේ නියෝජනයක් සිදුවීමය.

මෙහිදි නිදහස් ශ්‍රීලංකාව ගොඩනැඟීමට කැපවූ සියළු පක්ෂ නායකයන් වෙත පුෂ්පෝපහාර දැක්වීමද සුවිශේෂී මොහොතක් විය.

සංවත්සර සභාව අමතමින් එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ, තමන් සිදුකළ නිල විදෙස් සංචාරයක් පදනම් කරගනිමින් වත්මන් ආණ්ඩුව සිදුකළ අත්අඩංගුවට ගැනීම අවස්ථාවේ, ප්‍රජාතන්ත්‍රවාදය පත්වෙන්න යන අනතුර දැක විපක්ෂයේ සියළු නායකයන් භේද පසෙක තබා එකට එක්ව තමන් වෙනුවෙන් පෙනීසිටි බවයි.

ඒ සියළු දෙනාට හෘදයාංගම ස්තූතිය පලකළ හිටපු ජනාධිපතිවරයා එදා ඒ ඇතිකරගත් එකමුතුව ඉදිරියටද පවත්වා ගැනීමේ වැදගත්කමද අවධාරණය කර සිටියේය.

” දැන් මේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය විශාල තර්ජනයක් වෙලා තියෙනවා. අපි නියෝජනය කරන්නේ බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය. සාගර කාරියවසම් මහතා කිව්වා වගේ, අපේ දේශපාලන කඳවුරු තිබෙනවා. කඳවුරු ඇතුලෙත් පක්ෂ ලෙස බෙදීම් තියෙනවා. ඉන්දියාවේ පවා එහෙමයි. මේක බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටක්.

දැන් මේක නැතිකරන්න හදන්නේ. සේරම හොරු කියලා අත්අඩංගුවට ගන්න යනවා. දූෂණයට එරෙහිව අපි 2018- 2024 කාලයේ තදින්ම ක්‍රියාත්මක වුණා. 2018 දී විගණන නීතිය ගෙනාවා. ඒ ගැන කබීර් හෂීම් මන්ත්‍රීවරයා දන්නවා. ඒ වගේම 2023 දී දූෂණ විරෝධි පනත ගෙනාවා. ඒ වෙනුවෙන් දැක්වූ කැපවීම ගැන විජේදාස රාජපක්ෂ මහතාට විශේෂයෙන් ස්තූති කරන්න ඕන. ඒ වගේම IMF එක අපිට කිව්වා, මේ දූෂණය වළක්වන්න ක්‍රියාත්මක වෙන්න කියලා. මම ඔවුන්ට කිව්වා, ඒ වෙනුවෙන් අපි මැදිහත් වෙනවට වඩා ඔබලාම යෝජනා කරන්න, අපි මොකක්ද කරන්න ඕන කියලා” කියා.

ඒ අනුව තමයි රාජ්‍ය පාලන විශ්ලේෂණය ඉදිරිපත් වුනේ. ඒක මුල් වරට ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේ අපි. දැන් මේ ආණ්ඩුව අපි සේරම හොරු කිව්වට, 2018-2024 තුළ අපි තමයි නීති හදලා, ක්‍රියාත්මක වුණේ. එහි ඉටුකිරීමට තවත් දේ තියෙනවා. නිලධාරීන් පුහුණු කිරීමට තිබෙනවා. හැබැයි මේ ආණ්ඩුව ඒ කිසිවක් කරලා නෑ. ඒත් අපිට චෝදනාව කරමින් ඉන්නවා.

දූෂණයට විරුද්ධව ක්‍රියාත්මක වීමට අපි විරුද්ධ නෑ. අපි තමයි ඒ වෙනුවෙන් නීති හදලා ක්‍රියාත්මක කළේ. නමුත් දූෂණ චෝදනා වලට මුවාවෙලා වෙනත් වැඩක් ක්‍රියාත්මක වෙනවා. කොමිසමක් මෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව ත් ඒ සඳහා යොදාගෙන ඇති බවට දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නා. අපි ඒ ගැන බලන්න වෙනවා.
විපක්ෂය නිශ්ශබ්ද කරලා මේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයක් හදන්න යන්නේ. අපි එකට ඒකට මුහුණදෙමු. නායකයන්ව අල්ලන්න යනවා නම් ඒකට විරුද්ධව එකට ඉමු. ඒ අය හිතන්නේ අපි බයවෙයි කියලා. අපි බය නැතුව ඉමු. ඒ වෙනුවෙන් මේ එකමුතුවේ ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්න ඕන.

මේ ව්‍යාපාරය මෙතනින් නවතින්න අදහසක් නෑ. අපි 1975 දී ආසන වලට ගියා වගේ, අපි සියළු දෙනා එකට එක්ව රටම ආවරණය වෙන විදිහට රැස්වීම් 1000ක් පැවැත්වුවහොත් එක ආසනයකට රැස්වීම් 4-5ක් එනවා. අපි සියළු දෙනා එකතුව යමු. සමහර විට පොලිසිය එවයි ඒවා නවත්වන්න. නමුත් අපි ඒක කරමු. එතනින් ඉදිරියට යමු. JR ජයවර්ධන සමඟ සත්‍යග්‍රහ කරපු අය අපි එක්ක ඉන්නවා. මහින්ද රාජපක්‍ෂ සමඟ පාදයාත්‍රා ගිය අය අපි එක්ක ඉන්නවා. ඒ නිසා මේ ගමන ඉස්සරහට යන්න ඕන. අපි එකට එකමුතු වෙමු. ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරාජය කරමු

Search