තමා විසින්ම තමන්ට වෙඩි තියාගත් තුසිත හල්ලොලුව තවදුරටත් රිමාන්ඩ්

තමා විසින්ම තමන්ට වෙඩි තියාගත් තුසිත හල්ලොලුව තවදුරටත් රිමාන්ඩ්

ඉකුත්දා නාරාහේන්පිට  ප්‍රදේශයේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් වාහනයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන ඒ මහතාව සැප්තැම්බර් 18 දක්වා යළි රිමාන්ඞ් භාරයේ තබන ලෙස  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.


බන්ධනාගාර නිලධාරින් විසින් සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම සැකකරුගේ ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මෙම සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවොත් ඉදිරි විමර්ශන කටයුතු වලට බලපෑම් සිදුකළ හැකි බවට  පැමිණිල්ල විසින් සාධාරණ කරුණු ඉදිරිපත් කර ඇති බවයි.

ඊට අමතරව යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට ද මෙම සැකකරුගෙන් බාධා සිදු විය හැකි බවට කරුණු ඉදිරිපත් වී තිබෙන හෙයින්  මෙම තත්ත්වය හමුවේ සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවොත් ඔහු විසින් ඉදිරි විමර්ශන කටයුතුවල සහාය දැක්වීම සම්බන්ධයෙන් විශ්වාසය තැබිය නොහැකි වනු ඇති බවත් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයේ සඳහන් කර සිටියා.

ඒ අනුව සැක ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් මහේස්ත්‍රාත්වරයා නියම කළා.

මේ අතර මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ සැකකාර තුසිත හල්ලොලුව මහතා සමඟ කාර් රථයේ ගමන් කළ නීතීඥ දිනේෂ් දොඩම්ගොඩ මහතා සිද්ධිය  සම්බන්ධයෙන් තමන්ව අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරිණ ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම ද අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ඔහුගේ නීතීඥවරයා සදහන් කළේ ඊයේ දිනයේ අභියාචනාධිකරණයෙන් සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම වලක්වලාමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව අභියාචනාධිකරණ නඩු තීන්දුවේ පිටපතක් ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අපේක්ෂිත ඇප ඉල්ලීම ලබන 25 වනදා කැඳවන ලෙසත් අතිරේක මහේස්ත්‍රාත් වරයා නියම කළා

Search