අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ මෝසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළා.
සැකකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාගේ අපේක්ෂිත ඇප ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඔහු ඊට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ බව සඳහන් කළා.
එම ප්‍රතිශෝධන පෙත්සම ඉකුත් 07 වනදා කොළඹ මහාධිකරණ හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීනිය අධිකරණය හමුවේ පෙනී සිටි බව ඔහු සඳහන් කළා.
ඒ අනුව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් පවතින බව දකිමින් අධිකරණ නිවාඩු කාලයේ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නොමඟ යවමින් සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිවිරෝධී ලෙස අල්ලස් කොමිසම විසින් වරෙන්තුවක් ලබා ගෙන තිබෙන බව ඔහු චෝදනා කළා.
මහජන මුදලින් වැටුප් ලබන අල්ලස් කොමිසමේ නිලධාරීන් මේ ආකාරයෙන් බොරු කරන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට නීතියට ඉහළින් ගොස් කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවත් චෝදනා කළා.
ඇප පනතේ 25 වන වගන්තිය ප්‍රකාරව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් පවතින අවස්ථාවක වරෙන්තුවක් ඉල්ලා සිටිය යුත්තේ මහාධිකරණය හමුවේ යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එවැනි ඉල්ලීමක් අල්ලස් කොමිසම විසින් මහාධිකරණය හමුවේ සිදුනොකළ බව පැවසුවා.
අදාළ ප්‍රතිශෝධන පෙත්සම ඉකුත් 07 වනදා මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වරෙන්තුවක් ඉල්ලා නොසිටි අල්ලස් කොමිසමට දොළොස්වනදා වන විට වරෙන්තුවක් ලබාගැනීමට ඇතිවූ හදිස්සිය කුමක්දැයි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රශ්න කර සිටියා.
ඒ අනුව අල්ලස් කොමිසම අධිකරණය නොමඟ යවමින් ලබාගෙන තිබෙන අදාළ වරෙන්තුව ආපසු කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙම මෝසම අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජෙනරාල් සුළෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු විසින් ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ඉකුත් 07 වනදා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම පෙත්සමට අදාළව තම කොමිසමට නොතීසි ලැබී නොතිබූ බව ඇය සඳහන් කළා.
මෙම සැකකරු ප්‍රකාශ ලබාදීම මඟහරිමින් සිටි අවස්ථාවේදී ඔහු සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම වරෙන්තුව ලබා ගැනීමට තම කොමිසමට සිදු වූ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.
මේ අතර අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මේ වන විට අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින රාජිත සේනාරත්න මහතාට ප්‍රකාශයක් ලබා දෙන ලෙස දැන්වීමක් නිකුත් කිරීමට නියෝගයක් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක්ද මහෙස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා