රජයට බදු නොගෙවා පැහැරහැරීම සම්බන්ධයෙන් පියුමි හංසමාලි හා අවුරා ලංකා සමාගමේ සභාපති තාඹුගලට එරෙහිව ඉදිරියේදී කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඊයේ (ජූලි 31) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසේන වෙත දැන්වීය.
එම දෙදෙනාට එරෙහි විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව ඔවුන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ඉදිරියේදී අධි චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව ත් දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ දිනේෂ් පෙරේරා අධිකරණය හමුවේ පැවසීය.
2022 හා 2023 වර්ෂවලට අදාළව පුද්ගල ආදායම් බද්ද නොගෙවීම වෙනුවෙන් රුපියල් මිලියන 194ක් හා ලොලියා නමැති සමාගමක් පවත්වාගෙන ගොස් මිලියන 95ක් ආදායම් බදු නොගෙවීම වෙනුවෙන් පියුමි හංසමාලිට එරෙහිවත් එම වර්ෂ දෙකට අදාළව රුපියල් මිලියන 194ක පුද්ගල ආදායම් බද්ද හා අතිරේක ආදායම් බද්ද දඩය හා පොලිය සමඟ නොගෙවීම වෙනුවෙන් ටී.ඒ.සී.වී. තාඹුගලට එරෙහිවත් එසේ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව ද නීතිඥ දිනේෂ් පෙරේරා අධිකරණය හමුවේ පැවසීය.
බදු අපරාධ වැරදිවලට අදාළ විමර්ශනවල ප්‍රගති වාර්තා ඊයේ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී දිනේෂ් පෙරේරා ඒ බව අධිකරණයට දැන්වීය.
රජයට හිමි විය යුතු බදු නොගෙවීම මඟින් මෙම සැකකරුවන් දෙදෙනා සාවද්‍ය පරිහරණය යන වැරැද්ද සිදුකර ඇති බව ඔහු අධිකරණයට දැනුම් දුන්නේ ය.
2017 දේශීය ආදායම් පනතේ 186, 189, 190 වගන්ති ප්‍රකාරව සිදු කර ඇති බව පැවැසෙන වැරදි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළ වැඩිදුර වාර්තාවක් ද නීතිඥවරයා එහිදී අධිකරණයට ඉදිරිපත් කළේ ය.