කැරම් බෝඩ්-දාම් බෝඩ් බෙදලා රජයට කෝටි 3ක් පාඩු කළැයි – නලින්ට මහින්දානන්දට අධිචෝදනා

කැරම් බෝඩ්-දාම් බෝඩ් බෙදලා රජයට කෝටි 3ක් පාඩු කළැයි – නලින්ට මහින්දානන්දට අධිචෝදනා

2015 ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු වූ මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සඳහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් 14,000 බැගින් මැතිවරණ කාර්යාලවලට බෙදාහැර රජයට රුපියල් තුන්කෝටි අනූලක්ෂ හැට එක්දහස් දෙසිය අනූවයි ශත හැත්තෑ එකක (රු.39,061,290.71) පාඩුවක් කළැයි නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ නඩු පවරා තිබූ හිටපු අමාත්‍යවරුන් වන නලින් රුවන්ජිත් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවආරච්චි යන මහත්වරුන්ට ඊයේ (21දා) කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේදී අධිචෝදනා පත්‍ර භාරදෙන ලදී.

ඔවුන් තිදෙනා රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙක බැගින් මුදාහැරීමට ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය. එම ඇපකරුවන් කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් විය යුතු බවට ද තුන්වන විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන පෙර වැරදි වාර්තා කැඳවන ලෙසටද නියෝග කෙරිණි.

පළමු හා දෙවන විත්තිකරුවන්ට මේ වනවිට වෙනත් නඩුවකට සිරදඬුවම් නියමව සිටින බැවින් ඔවුන්ට නියම කළ ඇප නියෝගය ක්‍රියාත්මක නොවනු ඇත. නඩුකරයට පාදක වූ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ නඩු ගොනුව වහාම මහාධිකරණයට එවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය. පැමිණිල්ල විසින් තම අධිකරණය හමුවේ ගොනු කිරීමට අපේක්ෂා කරන සාක්‍ෂි ලේඛන සති දෙකක් ඇතුළත ගොනු කරන ලෙසට ද නියෝග කෙරිණි.

2014.10.01 හා 2014.12.18 අතර කාලය තුළ ලංකා සතොස සභාපති ලෙස කටයුතු කරමින් සිටියදී එකී වරද සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම, ඒ සඳහා ආධාර අනුබලදීම හා පොදු දේපළක් එනම් ලංකා සතොස ආයතනයට රුපියල් 39,061,290.71ක පාඩුවක් සිදුකිරීම යන පළමු හා දෙවන චෝදනා පළමු වන විත්තිකාර නලින් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර තිබිණි. ඒ සඳහා ආධාර අනුබලදීම යන තෙවන හා සිවුවන චෝදනා දෙවන විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතාටත් තෙවන විත්තිකාර නන්දසිරි මල්ලවආරච්චි මහතාටත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතාගේ අත්සනින් 2025.05.19 වැනිදා මහාධිකරණය හමුවට ඉදිරිපත් කළ එකී චෝදනා පත්‍රය මගින් එල්ල කර තිබිණි. පැමිණිල්ල ගොනු කර ඇති එකී චෝදනා සනාථ කිරීම සඳහා සාක්‍ෂිකරුවන් 42කගේ සාක්‍ෂි කැඳවීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා අධිකරණයට පෙන්වා දී තිබිණි.

පළමු හා දෙවන විත්තිකරුට එරෙහිව මෙම නඩුව සම්බන්ධයෙන් ගොනුකර ඇති චෝදනා පත්‍රයේ සඳහන් චෝදනාවලට සමාන චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ කොළඹ විශේෂ මහාධිකරණය ඉන් චෝදනා කීපයකට විත්තිකරුවන් වරදකරුවන් බවට නිගමනය කොට සිරදඬුවම් හා දඩ නියම කර ඇති බැවින් මෙම චෝදනා පවරා පවත්වාගෙන යානොහැකි බවට මූලික විරෝධතාවක් ගොනු කරන බව පළමු හා දෙවන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි හා ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් යන මහත්වරු කියා සිටියහ. සිය සේවාදායකයාට එරෙහිව ද පවරා ඇති නඩුවේ චෝදනා ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බැවින් ඒ සම්බන්ධයෙන් ද මූලික විරෝධතා ගොනු කරන බව තුන්වන විත්තිකාර නන්දසිරි මල්ලවආරච්චි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයාට පෙන්වා දුන්නේය.

එකී මූලික විරෝධතා ගොනු කිරීම සඳහා එම නඩුව ලබන සැප්තැම්බර් 9 වැනිදා කැඳවීමට නියම කළ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා පළමු හා දෙවන විත්තිකරුවන් එදින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටි අතර නීතිඥ සංජය මාරඹේ, ගීත් කරුණාරත්න හා පසන් කරුණාරත්න යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා තෙවන විත්තිකරු වෙනුවෙන් පෙනි සිටියේය.

පාසල් අතර බෙදාදීම සඳහා ලංකා සතොස හරහා ආනයනය කරන ලද දාම් හා කැරම් ක්‍රීඩා උපකරණ වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීමෙන් රජයට රුපියල් එක්කෝටි තිස් එක් ලක්‍ෂ දහතුන් දහස් නවසීය හැත්තෑ පහයි ශත දාහතක මුදලක් රජයට පාඩු කිරීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පසුගිය මැයි 29 වැනිදා තීන්දුව ලබාදෙමින් නලින් ප්‍රනාන්දු මහතාට වසර 25ක බරපතළ සිරදඬුවම් ද මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 20ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ද නියම කර තිබිණි. මේ වනවිට රක්ෂිත බන්ධනාගාර භාරයේ සිටින එම විත්තිකරුවන් දෙදෙනා එකී දඬුවම් නියෝග අහෝසි කර තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි සිය නීතිඥවරුන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සම් ගොනු කර ඇත

Search