පාස්කු නඩුවේ සියලු චෝදනාවලට නිලන්ත ජයවර්ධන වරදකරුවේ... පොලීසියෙනුත් නෙරපයි...

පාස්කු නඩුවේ සියලු චෝදනාවලට නිලන්ත ජයවර්ධන වරදකරුවේ... පොලීසියෙනුත් නෙරපයි...

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ලවී සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් පහකිරීමට ජාතික පොලිස් කොමිසම කටයුතු කර ඇත.

ඒ අනුව අනිවාර්ය නිවාඩු යවා සිටි නිලන්ත ජයවර්ධන මහතා ජූලි මස 17 වැනිදා සිට පොලිස් සේවයෙන් පහකර තිබේ.

ඉකුත් 2019 වර්ෂයේ අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හා රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව ජාතික පොලිස් කොමිසම මගින් පසුගිය 2023 වර්ෂයේ නොවැම්බර් 07 වැනිදා චෝදනා පත්‍රයක් නිකුත් කරන ලදී.

වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ මෙම චෝදනා පත්‍රය සම්බන්ධයෙන් සිදු කළ පූර්ණ විමර්ශනයකින් පසු සියලු චෝදනාවන්ට නිලන්ත ජයවර්ධන වැරදිකරු බව ජාතික පොලිස් කොමිසම විසින් තීරණය කෙරිණි.

අදාළ වාර්තාව පොලිස් කොමිසමට ඉදිරිපත් කිරීමෙන් පසු කොමිසමේ සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොමිසමේ නිලධාරීන් විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සේවයෙන් පහ කිරීමට තීරණය කර ඇත.

පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළේ එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුව සිටි නිලන්ත ජයවර්ධන මහතා යි.

සියලු තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වූ මූලික අයිතිවාසිකම් නඩු විභාගයෙන් ද ජයවර්ධන මහතා වරදකරු බවට නම්කර තිබිණි.

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමිවූවන් වෙනුවෙන් රුපියල් කෝටි 7 1/2 ක වන්දි මුදලක් ද ගෙවීමට නිලන්ත ජයවර්ධන මහතාට සිදු විය.

Search