ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා පැනවීමට නියමිත 30% ක ඉහළ අන්‍යෝන්‍ය තීරු බද්ද අවසන් මොහොතේ හෝ අඩු කර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුවහොත්, මෙරට ඇඟලුම් කර්මාන්තය බරපතළ අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි කර්මාන්තකරුවෝ අනතුරු අඟවති.
මෙම නව තීරු බද්ද එළඹෙන අගෝස්තු 01 සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට වඩාත් අභියෝගාත්මක වී ඇත්තේ, ප්‍රධාන තරගකාරී රටවල් වන වියට්නාමය සඳහා 20% ක තීරු බද්දක් පනවා ඇති අතර, ඉන්දියාව සහ ඇමෙරිකාව අතර ඇතිවීමට නියමිත නව වෙළෙඳ ගිවිසුමක් යටතේ ඉන්දියාවට 20% ටත් වඩා අඩු තීරු බදු සහනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කිරීම හේතුවෙනි.
එවන් තත්ත්වයක් තුළ, ඇමෙරිකානු ගැනුම්කරුවන් ශ්‍රී ලංකාවෙන් ඇණවුම් අවලංගු කර, අඩු තීරු බදු සහිත ඉන්දියාව වැනි වෙනත් රටවල් වෙත යොමුවීමේ අවදානමක් පවතින බව ඇඟලුම් කර්මාන්තකරුවෝ පෙන්වා දෙති. එසේ වුවහොත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට එල්ල වන විශාලතම තර්ජනය ඉන්දියාවෙන් පැමිණෙනු ඇති බව ඔවුන්ගේ අදහසයි.
ඇමෙරිකානු වෙළෙඳපොළ ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ කොඳු නාරටිය බඳුය. පසුගිය වසරේදී උපයන ලද සමස්ත ඇඟලුම් අපනයන ආදායම වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.7 න් 40.04% ක්, එනම් ඩොලර් බිලියන 1.9 ක්, ලැබී තිබුණේ ඇමෙරිකානු වෙළෙඳපොළෙනි. එමෙන්ම, මෙම වසරේ මුල් මාස පහ තුළදී උපයන ලද ඩොලර් බිලියන 2 ක ඇඟලුම් ආදායමෙන් ඩොලර් මිලියන 746.53 ක්ම උපයා ඇත්තේ ඇමෙරිකාවට කළ අපනයන හරහාය. මෙරට ඇඟලුම් සඳහා දෙවැනි ප්‍රධාන වෙළෙඳපොළ වන එක්සත් රාජධානිය පසුගිය වසරේදී හිමි කරගෙන තිබුණේ 14.17% ක කොටසක් පමණක් වීමෙන් ඇමෙරිකානු වෙළෙඳපොළේ ඇති වැදගත්කම මනාව පැහැදිලි වේ.
මෑතකදී අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව ද පෙන්වා දුන්නේ ඇමෙරිකාව යනු එක් රැයකින් ආදේශ කළ නොහැකි ප්‍රධාන වෙළෙඳපොළක් බවයි.
කෙසේ වෙතත්, මෙම 30% ක තීරු බද්ද නියමිත දිනට පෙර අඩු කර ගැනීමට හැකිවනු ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංසදය ද විශ්වාසය පළ කරයි. ශ්‍රී ලංකා රජය සහ ඇඟලුම් කර්මාන්තය එක්ව මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ අනතුරේ ....සියලු ඇනයුම් ඉන්දියාව බංගලදේශයට යන ලකුණු
