පිරමීඩ උගුල ගැන– මහ බැංකුවෙන් දැනුවත් කිරීමේ සතියක්

පිරමීඩ උගුල ගැන– මහ බැංකුවෙන් දැනුවත් කිරීමේ සතියක්

රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් 2025 ජූලි 14 වැනි දින සිට ජූලි 18 වැනි දින දක්වා තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුවත් කිරීමේ සතියක් ‘අහෝ දුකකි, පිරමීඩ උගුලකි’ යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.

මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම හා මූල්‍ය පාරිභෝගිකයන්ගේ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම යන මහ බැංකුවේ කාර්යභාරයන්ට සමගාමීව තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පිළිබඳව හා ඒවා මගින් තනි පුද්ගලයන්ට මෙන්ම සමස්ත ආර්ථිකයට සිදුවන සැලකිය යුතු අවදානම් පිළිබඳව පුළුල් වශයෙන් දැනුවත් කිරීම මෙම ජාතික වැඩසටහනේ ඉලක්කය වේ.

මෙම වැඩසටහන මගින් පාසල් සිසුන් සහ ගුරුවරුන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, සිවිල් ආරක්ෂක සේවා නිලධාරීන්, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්, රාජ්‍ය අංශයේ සේවකයන් ජාතික වශයෙන් දැනුවත් කිරීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව බිම් මට්ටමේ පුළුල් ආවරණයක් සහිතව ප්‍රජා සහභාගිත්වය සහතික කරමින් මෙමගින් දිවයින පුරා පාසල් 6,172ක් සහ ග්‍රාම නිලධාරි කොට්ඨාස 14,022ක් ඔස්සේ ප්‍රධාන වශයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

තහනම් පිරමීඩ යෝජනා ක්‍රමවලට අදාළ නීතිමය ප්‍රතිපාදන, එවැනි ව්‍යාපාරවල ආකෘතියේ පවතින වංචනික ස්වභාවය හා ව්‍යුහය, පිරමීඩ යෝජනා ක්‍රමවල ආයෝජනය කිරීමේ අවදානම් හා මූල්‍යමය ප්‍රතිවිපාක සහ වින්දිතයන්ගේ සත්‍ය ජීවන පුවත් හා වේදනාකාරි අත්දැකීම් යනාදිය පිළිබඳව මෙම සතිය පුරාම සහභාගිවන්නන් දැනුවත් කිරීම සිදු කෙරේ.

මූල්‍ය වංචාවලින් තමා මෙන්ම අන්‍යයන් ආරක්ෂා කරගැනීමටත් මූල්‍ය පද්ධතිය පිළිබඳ විශ්වසනීයත්වය සහතික කිරීමටත්, දැනුවත්භාවය සහ විමසිලිමත්භාවය අත්‍යවශ්‍ය වේ. එම නිසා මෙම වැඩසටහන සමග සක්‍රීය ව සහභාගි වී දැනුවත් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

වැඩිදුර තොරතුරු සහ යාවත්කාලීන කිරීම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. නැතහොත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මහ බැංකුව හා සම්බන්ධ වන්න.

Search