නලින්දත් කෙහෙළිය ගිය අඩි පාරේම යයි... නුදුරේම ජම්පරය ලෑස්තියි

නලින්දත් කෙහෙළිය ගිය අඩි පාරේම යයි... නුදුරේම ජම්පරය ලෑස්තියි

නුදුරේදීම විශාල ඖෂධ හිඟයක් ඇති බව පවසමින් ඖෂධ ලියාපදිංචිය ප්‍රමාද බව සඳහන් කර, ලියාපදිංචිය අත්හැරීමේ W.O.R ලිපි හරහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සිදුකල ආකාරයට නලින්ද ජයතිස්ස ද ඖෂධ හදිසි මිලදී ගැනීම් සිදුකළහොත් පුදුම නොවන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (10) නුගේගොඩ, පෙ.ස.ප. කාර්‍යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ය.

පසුගිය අප්‍රේල් 5වෙනි දා ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් මත ලංකාව ඉන්දියාවේ කොලනියක් බවට පත් වෙමින් තිබෙන අතර ක්‍රමානුකූලව ක්ෂේත්‍රයෙන් ක්ෂේත්‍රය ඉන්දියාවේ බලය තහවුරු වෙමින් ලංකාවේ ග්‍රහණය දුර්වල වෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

මේ මොහොතේ ඒ බව පෙන්නුම් කරන හොඳම උදාහරණය ඖෂධ ක්ෂේත්‍රයෙන් දැක ගත හැකි බවද ඔහු සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මෙසේද පැවසීය.

පසුගිය මැයි 19වෙනි දා සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඖෂධ වර්ග 113ක් මිලදී ගැනීමේ ක්‍රමවේදය ගැන එහි දී සෞඛ්‍ය ඇමතිවරයා යෝජනා කළේ සාමාන්‍යයෙන් සිදු කෙරෙන පරිදි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මග හැරලා රජය මැදිහත් වෙලා ආණ්ඩු අතර ගිවිසුමකින් ඖෂධ මිලදී ගන්න.එහිදී අප ප්‍රශ්න කළා රනිල්ගේ ආණ්ඩුව යටතේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ක්‍රමයෙන් ස්වභාවික මරණයකට ලක් කිරීමේ ක්‍රියාවලිය ද මේ දියත් වෙන්නේ කියලා. මහාචාර්ය සේනක බිබිලේ බඳු ජනතාවට ආදරය කළ සෞඛ්‍ය වෘත්තිකයින් ජනතාවට දායාද කළ මහා සම්පතක් උදුරා ගන්නද හදන්නේ කියා අපි ඇහුවා. ඊට පස්සේ නලින්ද ජයතිස්ස කිව්වා මේ ඖෂධ මිලදී ගැනීම කෙරෙන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහාමයි කියලා.

අපි මේ ගැන අනාවරණය නොකළා නම් මේ ආණ්ඩුව රනිල්ගේ සැලසුම ක්‍රියාත්මක කරනවා. ඉන් පසුව මේ ඖෂධ වර්ග 113 මිලදී ගැනීමට ආණ්ඩු අතර සිදුවන ක්‍රියාවලිය නැවත ඉදිරියට පැමිණ තිබෙනවා. එහි දී ඖෂධවල ගුණාත්මක භාවය ගැන විශාල ප්‍රශ්නයක් මතුවුණා. ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය, ඉන්දුනීසියාව, තායිලන්තය සහ තුර්කිය වැනි රටවල් හතකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ඒ ඖෂධ මිලදී ගන්න උත්සාහයක් තිබුණා.

මේ රටවල් හතේ කතාව ප්‍රෝඩාවක්. ඉන්දියාවට ඇණවුම දෙන්න ආවරණයක් ලෙස වෙනත් රටවල නම් පාවිච්චි කරනවා, නමුත් අන්තිමේදී දෙන්නේ ඉන්දියාවට.

මේකත් එහෙම තමයි. ඉන්දියාවේ ව්‍යාපාරික අරමුණ වෙනුවෙන් මෙහිදී බිලි දෙන්නේ මහජන සෞඛ්‍යය. රටවල ආණ්ඩු හරහා ප්‍රසම්පාදනයෙන් තොරව ගෙන්වන ඖෂධ නියමිත ප්‍රමිතියෙන් යුතු බවට ලංකාවේ ලියාපදිංචි වෙලාද කියා විමසුවාම ජුලි 01 දින කැබිනට් මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස කිව්වා ඒවා ලංකාවේ ලියාපදිංචි වීම අවශ්‍ය නෑ, ඒ ඒ රටවල ලියාපදිංචි වීම ප්‍රමාණවත් කියලා. මේක ඉන්දියානු ගිවිසුමක තිබුණු දෙයක්.

ලංකාව තුළ මෙතෙක් පිළිගත් බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු ප්‍රමිතියට අමතරව ඉන්දියාවේ ඖෂධ ප්‍රමිතිය පිළිගන්න, ඉන්දියානු ෆාර්මකෝපියා සමග එකඟතාවක් එම ගිවිසුමෙන් ඇතිකරගෙන තිබුණා. අපි මේ ගැන හඬ නගන විට නලින් ද ජයතිස්ස ෆාර්මකෝපියා වචනය උච්ඡාරණය කරන විදිය ගැන සංවාදයක් ගෙනත් ලක්ෂ 220ක් ලාංකීය ජනතාවගේ සෞඛ්‍යයට එල්ල වී ඇති අවදානම ගැන නිහඬ වුණා.ලංකාවේ ලියාපදිංචි නැති ඖෂධ මේ ආකාරයට රෝගීන්ට ලබාදීම ලියාපදිංචිය අත්හැරීමේ ඩබ්ලිව් ඕ ආර් ලිපි හරහා කෙහෙළිය රඹුක්වැල්ල කළ බාල ඖෂධ ජාවාරමෙන් වෙනස් වෙන්නේ කොහොමද? ඉන්දියාවේ බලහත්කාරයට යට වෙලා බාල ප්‍රමිතියෙන් යුතු ඖෂධ ලංකාවේ නීතියට යටින් ගෙනෙන්න හැදුවේ.හදිසි මිලදී ගැනීම් කළොත් පුදුම වෙන්න එපා.

මේ ගැන විරෝධය හැදුනාම ජුලි 08 වැනිදා කැබිනට් මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස කියනවා ලංකාවේ ලියාපදිංචි නැති ඖෂධ ගෙනෙන්නේ නෑ, ලියාපදිංචි කරලා ගේන්නේ කියලා. මෙතන මගේ අතේ තියෙනවා ලංකාවේ නිෂ්පාදකයින් මේ කියන ඖෂධ ම නිෂ්පාදනය ක‍රන්න ලියාපදිංචිය ඉල්ලුවාම ලියාපදිංචිය ප්‍රමාද කරලා තියෙන කාලය. වසර 4කට වැඩි කාලයක් ලියාපදිංචිය ප්‍රමාද වූ ඖෂධත් මෙතන තියෙනවා.

ඒ කියන්නේ ඔය ඉන්දියානු ඖෂධ මිලදී ගන්නේ ලියාපදිංචි කරලා නම් ඒ ක්‍රියාවලියටත් අවුරුදු ගණන් යයි නේ. එතකොට ඒක ඖෂධ හිඟයට ක්ෂණික උත්තරයක් වෙන්නේ කොහොම ද? එහෙම නැතිනම් ලංකාවේ නිෂ්පාදකයෙක් ලියාපදිංචිය ඉල්ලුවාම වසර ගණන් ගියාට ඉන්දියානු සමාගමක් ඉල්ලුවාම සතියෙන් ලියාපදිංචිය දෙනවද? මේක සම්පූර්ණ ප්‍රෝඩාවක් සහ අතිශය සැක සහිත ක්‍රියාවලියක්.

ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තය කාබාසිනියා කරලා, ඉන්දියාවේ ලාභ උවමනාවලට රෝගීන් බිලි දෙන්නත් පුදුම හදිසියක් තියෙනවා වගේ පෙන්නේ. මේ කියන ඖෂධ වර්ග 113න් ඖෂධ වර්ග 43ක් ලංකාවේ නිෂ්පාදනය කරන ඒවා. නිෂ්පාදන ආර්ථිකය දියුණු කරනවා, ආනයන අඩු කරනවා, අපනයනාභිමුඛ ආර්ථිකයක් හදනවා කියලා මැතිවරණයේදී පොරොන්දු වුණු ජාතික ජන බලවේගය ආණ්ඩුව ගත්තාම දැන් කරන්නේ මෙහෙමද?

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ජනතාවට නොපෙන්වා රහසිගතව තියාගෙන ඉන්නේ මොකද කියලා දැන් ජනතාවට හොඳටම තේරෙනවා.

Search