ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම ශීඝ්‍රයෙන් පහලට....පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න-රජයෙන් ඉල්ලීමක්

ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම ශීඝ්‍රයෙන්  පහලට....පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න-රජයෙන් ඉල්ලීමක්

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පානීය ජල සැපයුම සීමා සහිත වන අතර ඒ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය අද (ජූලි 9) නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කළේ ය.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ, මේ දිනවල දිවයිනේ පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින අතර උෂ්ණාධික බව නිසා ජනතාවගේ ජල පරිභෝජනය ඉහළ මට්ටමක පවතින බව ය.

ඒ හේතුවෙන් පානීය ජල සැපයුම සීමා සහිත වන බව ත් එය සැමගේ අත්‍යවශ්‍ය පානීය හා සනීපාරක්ෂක කටයුතුවලට සම සේ බෙදා හැරිය යුතු බව ත් එම නිවේදනයේ සඳහන් කර තිබේ.

එබැවින් වාහන සේදීම, ගෙවතු වගාව වැනි කටයුතු සඳහා ජලය භාවිත කිරීම අවම කොට අත්‍යවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් ජලය භාවිත කරන මෙත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එමෙන් ම, උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බව ද නිවේදනයේ සඳහන් කර ඇත.

කෙසේ වුවත්, මෙම වියළි කාලගුණික තත්ත්වය නිසා ජනතාවට මුහුණ දීමට සිදු වී තිබෙන අපහසුතාවයන් අවම කිරීම සදහා කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Search