කඳාන නගර මධ්‍යයේදී හිටපු ඇමැති මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා වෙඩි තබා බරපතළ තුවාල කර ඔහුගේ මස්සිනා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් කායවර්ධන මධ්‍යස්ථානයක පුහුණුකරුවකු සහ කායවර්ධන ක්‍රීඩකයකු පෑලියගොඩ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (08දා) අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් දෙදෙනා මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් සහ ඔහුගේ මස්සිනා කායවර්ධන ක්‍රීඩාවේ නිරත වූ කායවර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවකු සහ ක්‍රීඩකයකු බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
මෙම ප්‍රහාරය පිටුපස සිටින කඳානේ චූටි මල්ලි නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ඥාතියකු බව කියන කායවර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරු සහ ඔහුගේ මිතුරකු වන කායවර්ධන ක්‍රීඩාවේ නිරත වූ පුද්ගලයා ප්‍රහාරය සඳහා ඔත්තු සැපයීමේ නිරත වී ඇති බව අනාවරණය වී ඇත.
එම කාර්ය වෙනුවෙන් ඩුබායිහි සිටින චූටි මල්ලි නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු කායවර්ධන ක්‍රීඩාවේ නිරත වූ තරුණයාගේ බැංකු ගිණුමට රුපියල් පනස් දහසක මුදලක් බැර කර තිබූ බවද හෙළි වී තිබේ.
මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයාව සිටි සමීර මනහර සහ ඔහුගේ මස්සිනා වන උපාලි කුලවර්ධන මෙම ප්‍රහාරය මෙහෙය වූ කඳානේ ජාවාරම්කාරයන් සමග පැවති මත්ද්‍රව්‍ය ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වී ඇති බවද පොලිසිය පවසයි.
ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කඳානේ කොණ්ඩ රංජි සහ චූටි මල්ලි නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති අතර සමීර මනහර මොවුන්ගේ ඉලක්කය වී තිබූ බවද හෙළි වී ඇත. සමීර මනහර සහ උපාලි කුලවර්ධන කායවර්ධන මධ්‍යස්ථානයේ ක්‍රීඩා කර පිටව යද්දී ඒ බව ඩුබායි හි සිටින චූටි මල්ලි වෙත දුරකථනයෙන් දැනුම් දී ඇත්තේ එම මධ්‍යස්ථානයේම කායවර්ධන ක්‍රීඩාවේ නිරත වෙමින් සිටි සැකකරු විසින්ය.
එම තොරතුරු ලැබීමෙන් පසු චූටි මල්ලි තම පාතාල කුලී ඝාතකයන්ට ඒ බව දැනුම් දී මෙම ප්‍රහාරය එල්ල කිරීමට උපදෙස් දී ඇත.
ඒ අනුව කුලී ඝාතකයන් දෙදෙනා යතුරුපැදියක නැඟී සමීර සහ උපාලි ගමන් ගත් ජීප් රථය ලුහුබැඳ ගොස් කඳාන පොලිසිය ඉදිරිපිටදී මෙම ප්‍රහාරය එල්ල කර තිබිණි. මෙම ප්‍රහාරය එලල් කළ කුලී ඝාතකයන් දෙදෙනා පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් හෙළි වී නැත. පොලිසිය සැකපහල කරන්නේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මෙම ප්‍රහාරය සඳහා හේතු වූ බවටය.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සඳහා උපදෙස් ලබාදී තිබිණි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.