ශ්‍රී ලංකාවේ සුබසාධන රාජ්‍යයේ වැදගත් අංගයක් වන සෞඛ්‍ය පද්ධතිය බරපතල කඩාවැටීමකට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
මෙරටට ලැබුණු උසස් දායාදයක් වන නිදහස් සෞඛ්‍ය සේවාව, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “නිදහස්” විය යුතු බවද ඔහු පවසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කර සිටියේ පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරස්ථානයේ පැවති උත්සවයකදී අදහස් දක්වමිනි.
ජාතික රෝහලේ ඇති MRI ස්කෑන් යන්ත්‍ර 4න් 3ක්ම ක්‍රියා විරහිත වී ඇති බවද මෙහිදී පැවසූ විපක්ෂනායකවරයා මෙම තත්ත්වය රෝගීන්ට, විශේෂයෙන් හෘද රෝගීන්ට දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බවද පැවසීය.
රෝහල් තුළින් ලැබෙන සේවාවන්ට අමතරව ඖෂධ සහ අනෙකුත් ද්‍රව්‍ය ලබා ගැනීමට රුපියල් ලක්ෂයකට අධික මුදලක් වැය කිරීමට සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම, ප්‍රතිජීවක, නිර්වින්දන සහ වේදනා නාශක ඖෂධවල බරපතල හිඟයක් පවතින බවත්, මෙම ඖෂධ හිඟය පෞද්ගලික ඔසුසල්වල පවා ඉහළ ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
“නිදහස් සෞඛ්‍ය යනු රජයේ රෝහලෙන් තුන්ඩු අරගෙන පෞද්ගලික බෙහෙත් ශාලාවෙන් බෙහෙත් ගැනීම නොවේ” යනුවෙන් අවධාරණය කළ විපක්ෂ නායකවරයා, මෙම නිදහස් සෞඛ්‍ය සේවාව අනිවාර්යයෙන්ම ආරක්ෂා කළ යුතු බව පැවසීය.
මෑතකදී තරුණ හා මැදිවයස් පුද්ගලයන්ගේ මරණ ප්‍රමාණය 25% කින් වැඩි වී ඇති බවත්, එයට බෝ නොවන රෝග හේතු වී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
එසේම, මේ මොහොත වන විටත් බුද්ධිගලනය වැඩි වී ඇති බවත්, උගතුන් හා බුද්ධිමතුන් රට හැර යන බවත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
“මිනිමරු සංස්කෘතියක්” රට වෙලාගෙන ඇති බවත්, නාඳුනන තුවක්කුකරුවන්ගේ ග්‍රහණයට ලක් වූ සමාජයක් නිර්මාණය වී ඇති බවත් මෙහිදී විපක්ෂ නායකවරයා පැවසීය.
මෙම ඝාතන සංස්කෘතියට තිත තැබිය යුතු බවත්, සාහසික මිනිමරු, පාතාල හා මත්ද්‍රව්‍ය කල්ලි මැඩ පවත්වා, මිනිසා ජීවත් කරවන රටක් හා සමාජයක් බිහි කිරීමට ශක්තිමත් නීතියක් හා ආරක්ෂක පද්ධතියක් ඇති කළ යුතු බවත් ඔහු අවධාරණය කළේය.
ජාතික ආරක්ෂාව වන මහජන ආරක්ෂාව තහවුරු කිරීම රාජ්‍ය, රාජ්‍ය නොවන සහ සිවිල් සියලු දෙනාගේම වගකීම බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.