ජනපති ජර්මනියට...අමාත්‍යාංශ 04ක් සඳහා වැඩ බලන ඇමතිවරු පත් කෙරේ

ජනපති ජර්මනියට...අමාත්‍යාංශ 04ක් සඳහා වැඩ බලන ඇමතිවරු පත් කෙරේ

ජනාධිපති අනුර දිසානායක මහතා ජර්මනියේ නිල සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව දිසානායක මහතා ජුනි මස 11 සිට 13 වැනි දින දක්වා ජර්මානු ෆෙඩරල් ජනරජයේ සංචාරයක නිරත වෙයි.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති අතර, රජයේ ප්‍රමුඛතා මත පදනම් ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු සහයෝගීතාව සඳහා නව මාර්ග පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

 

එසේම ජනාධිපතිවරයා ජර්මානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයේ ප්‍රධානත්වය දරනු ලබන අතර, එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනය, පවතින ආයෝජන අවස්ථා, රටේ වර්ධන විභවය සහ දෙරට අතර නව වෙළෙඳ සබඳතා ගොඩනැගීමේ අවස්ථා පිළිබඳව අවධානය යොමු කෙරේ.

තවද, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරක හා සංචාරක කර්මාන්ත සංගම්වල නියෝජිතයන් හමුවීමට නියමිතයි.

මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වේ.

මේ අතර අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර තිබේ. ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ සඳහා මෙන්ම අමාත්‍ය විජිත හේරත් මහතා යටතේ පවතින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහා මෙලෙස වැඩබලන අමාත්‍යවරුන් පත් කර ඇත.

ඒ අනුව මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පත්කර තිබේ. ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පත් කළේය.

ආරක්ෂක වැඩබලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පත් කර තිබේ.

Search