ශ්‍රීලංකන් ගුවන් සේවයට අලුතින් එක්වූ එයාර්බස් A330-200 පුළුල් බඳ (Wide-body) සහිත ගුවන් යානය අද (ජූනි 04) උදෑසන ප්‍රංශයේ පැරිස් නුවර සිට මෙරටට ළඟා විය. ශ්‍රීලංකන් ගුවන් සේවය වසර 7කට පසු ලබා ගත් Wide-body වර්ගයේ පළමු ගුවන් යානය මෙය යි.
4R-ALT ලියාපදිංචි අංකය දරන මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ගොඩබැස්සවීමට පෙර කොළඹ සහ කටුනායක ප්‍රදේශ හරහා පියාසර කරන අයුරු ජනතාවට ප්‍රදර්ශනය විය.
අලුතින් ගෙනා ගුවන් යානය ගැන තොරතුරු
අද (ජූනි මස 04) රැගෙන ආ එයාර්බස් A330-200 පුළුල් බඳ (Wide-body) සහිත ගුවන් යානය ශ්‍රීලංකන් සමාගමේ සේවයට යොදා ගැනීමට පෙර, වෙනත් ගුවන් සමාගම් දෙකක ගුවන් ගමන් සඳහා යොදාගෙන ඇතැයි airfleets.net වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
PK-GPN යන ලියාපදිංචි අංකය යටතේ 2011 වසරේ නොවැම්බර් මස 11 වන දා සිට මෙම එයාර්බස් ගුවන් යානය ඉන්දුනීසියාවේ ගරුඩා ගුවන් සේවය විසින් භාවිත කරනු ලැබ ඇත්තේ කල්බදු ක්‍රමය යටතේ ය. 2020 වසරේ ඇති වූ කොවිඩ් වසංගතය හේතුවෙන් එම ගුවන් සේවය විසින් සේවයෙන් ඉවත් කරනු ලැබ තිබූ මෙම ගුවන් යානය නැවත එය අයත් සමාගම වෙත 2021 වසරේ ජූනි මාසයේදී භාර දී තිබිණි.
බීබීසී සිංහල