පසුගිය 2024 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරමින් සුරා බදු පනතට පටහැනි වන අයුරින් නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම මගින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කළැයි නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකරන ලද පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ඊයේ (ජූනි 3) ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ ය.
යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී එලෙස විභාගයට ගැනීමට නියම විය.
ඒ අනුව, 2024 වර්ෂයේ අලුතින් නිකුත් කරන ලද මත්පැන් බලපත්‍රවල තොරතුරු හා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ 2024 ජූලි 26 වන දා සිට ජනාධිපතිවරණය පැවැත්වූ 2024 සැප්තැම්බර් 24 වන දා දක්වා කාලය තුළදී නිකුත් කරන ලද මත්පැන් බලපත්‍රවලට අදාළ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ සුරා බදු කොමසාරිස්වරයා වෙත නියෝග නිකුත් කළේ ය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ඒ. ගුණසිරි, අතිරේක සුරා බදු කොමසාරිස් ඒ.එම්.පී. අරම්පල, නියෝජ්‍ය කොමසාරිස්වරුන් වන සී.ජේ. ඒ. වීරක්කොඩි, යූ.ඩී.එන්. ජයවීර සහ මුදල් අමාත්‍ය ලේකම් මහින්ද සිරිවර්ධන සහ අල්ලස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු 39 දෙනෙකු වග උත්තරකරුවන් ලෙස නම් කරමින් මාතලේ ප්‍රදේශයේ පදිංචි තංගවේලු ධනේන්දරාජා ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබිණි.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ පසුගිය ජූලි 26 වන දා සිට ජනාධිපතිවරණ පැවැති සැප්තැම්බර් 21 වන දා අතර කාල සීමාව තුළ වග උත්තරකරුවන් සුරා බදු පනතේ විධිවිධානයන්ට පටහැනිව යමින් මත්පැන්හල් බලපත්‍ර ගණනාවක් නිකුත් කර ඇති අතර ඒ අනුව එම බලපත්‍ර අහෝසි කරන ලෙසත් පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.