විමල් අපි දැන් බෝම්බය කාට ගහමුද?

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කර ගැනීමේ ප්‍රයත්නය පරාජය කිරීම සඳහා අවශ්‍ය කරන

මන්ත්‍රීවරුන් හැත්තෑ හය දෙනකුගේ සහයෝගය ලබා ගත නොහැකිව, එම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පෙරට ගියහොත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මතට එක බෝම්බයක් නොව බෝම්බ සීයක් හෙළිය යුතුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසයි.

 

බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වූ මන්ත්‍රීවරයා, "යෝජිත රට බෙදන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට" අනුමැතිය දුන්නොත් මහජනතාව එම පාර්ලිමේන්තුව බිමට සමතලා කර දමනු ඇතැයි සඳහන් කළේය.


ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේ ඔහු නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක බීබීසී සිංහල සේවය වෙත කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාරය පළ කරමිනි.


යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පසුගියදා විවේචනාත්මක පැහැදිලි කිරීමක නිරත වූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, "නව ව්‍යවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය දුන්නොත් ඒ මතට බෝම්බ හෙළිය යුතුව ඇතැයි" කියා තිබුණ අතර එම ප්‍රකාශය මුල්කර ගනිමින් දේශපාලන විවාදයක් ආරම්භ වී ඇත.


ඒ අතරවාරයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශයක් කළ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක, "විමල් වීරවංශ මහතාගේ බෝම්බ ප්‍රහාර කතාව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් විසින් නොකළ යුතු වැරදි ප්‍රකාශයක්" හැටියට දෝෂ දර්ශනයට ලක් කර තිබුණි.

සිය ස්ථාවරය පිළිබඳව බීබීසිය සමඟ තවදුරටත් පැහැදිළි කිරීමක නිරත වූ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක "එම ප්‍රකාශය විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික අදහසක් මිස පක්ෂයේ නිල මතය නොවන බව" කියා සිටියේය.
"උඩින් ගිහින් බෝම්බ දානවා කියන්නේ බරපතළ කාරණාවක්. අපි යුද්ධ තුනක් දැකල තියෙනවා. 1971,1989 සහ LTTE යුද්ධය. ලංකාවේ පාර්ලිමේන්තුව බෝම්බ ගහපු පාර්ලිමේන්තුවක්! ඒ නිසා එවැනි ප්‍රකාශයක් කිරීමේ දී රටක් විධියට බරපතළ අර්බුදකාරී තත්වයක් මතු වෙනවා. මොකක් හරි කඩාකප්පලකාරී ක්‍රියාවක් සිදු වුනොත් අපේ පක්ෂය ජාතිය ඉදිරියේ වැරදි කරුවන් වෙනවා. ඒ නිසා නායකයා වරදක් කළත් එය නිවැරදි කිරීම පක්ෂයේ ජාතික සංවිධායකයා විධියට මගේ වගකීමක්. මම ඒ නිවැරදි කිරීම සිදු කළා. මම හිතනවා එය යුක්ති සහගතයි, සාධාරනයි කියල" ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක බීබීසියට කියා සිටියේය.


විමල් වීරවංශ මන්ත්‍රීතුමා කරන ලද ප්‍රකාශය පක්ෂයේ දේශපාලන මණ්ඩලය අනුමත කරන ලද දෙයක්දැයි තමා ජාතික නිදහස් පෙරමුණේ මහලේකම්වරයාගෙන් ද විමසු බව සඳහන් කළ පියසිරි විජේනායක, පක්ෂය මගින් එවැනි ප්‍රකාශයට අනුමැතියක් දී නැති බව ලේකම්වරයා කියා සිටි බවත් පවසයි.


"අලුත් ව්‍යස්ථාව රට බෙදීමක්. රටේ ඒකීයභාවයට සහ බුදු දහමට හානියක්. ඒත් එය පරාජය කළ හැක්කේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි. අලුත් ව්‍යවස්ථාව පරාජය කළ හැක්කේ පාර්ලිමේන්තුවට බෝම්බ දානවා කියල මන්ත්‍රීවරුන්ට තර්ජනය කරලා භය ගන්වල අපහාස කරලා නොවෙයි. අප කළ යුත්තේ මන්ත්‍රීවරුන්ට පෞද්ගලික හානි සිදු නොකරමින් මෙය නිවැරදි දිසාවට ගෙන යන්න කියල කාරුණික ආදරණීය ඇමතුමක් කිරීමයි" ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

බීබීසී සංදේශය 

Search